ලබන වසරේ අප්‍රේල් - මැයි මාස අතරතුර ඉන්දීය ලෝක් සභා මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් හෙයින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යයි. වසර 2019 අයි. පී. එල් තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනටමත් කැමැත්ත පළ කොට ඇති අතර ශ්‍රී ලංකාවට ද අවස්ථා උදාකරදීමට අදහස් කොට ඇතැයි වාර්තා වේ.
12 වැනි අයි. පී. එල් තරගාවලිය ලබන වසරේ මාර්තු මස 29 සිට මැයි 19 දක්වා පැවැත්වීමට තීරණයවී ඇති අතර එම වකවානුවේදී පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයට බාධාවන අයුරින් තරගාවලිය නොපවත්වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කොට ඇත.
මෙයට පෙර 2009දී ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී හා 2014දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේය. එහෙත් දකුණු අප්‍රිකාවේ වේලාව ඉන්දීය වේලාව හා සැසදීමේදී පැය 3.5ක වෙනසක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වේලාව ඉන්දීය වේලාව හා සැසදීමේදී පැය 1.5ක වෙනසක්ද ඇත. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වේලාවේ වෙනසක් නොමැති හෙයින් ඉන්දීය ප්‍රේක්ෂකයන්ට ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වඩාත් සමීප වේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් කළ විමසමකදී ලබන වසරේ අයි. පී. එල් තරග කිහිපයක් ශ්‍රී ලංකවේ පැවැත්වීම පිළිබඳ ඉන්දීය ක්‍රිකට් ආයතනය තුළ ඇති අදහස තහවුරු කළේය. අයි. පී. එල්. තරග කිහිපයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අදහසක් ඇතත් ඒ පිළිබඳ අවසන් තීරණය කණ්ඩායම් හිමිකරුවන් සතුවන බව සුමතිපාල මහතා පැවැසීය.
“අයි. පී. එල්. තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ බලාපොරොත්තු පළවීම හොදයි. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ඉතා ඉහළින් අපට ලබාදිය හැකියි. ඉන්දීය පාලක මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අප හැම වේලාවේම සූදානම්” සුමතිපාල මහතා පැවැසීය.
මේ විස්සයි 20 තරගාවලියේ තරග වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ කිහිපයක්ම ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සාජා, ඩුබායි හා අබුඩාබි ක්‍රීඩාංගණ තුනක් පිහිටා තිබේ.
0 Comments