ලබන වසරේ සිට බාලිකාවන්ටත් සම්මාන
* පුරෝගාමී මෙහෙවරක තවත් දැවැන්ත පියවරක්
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් තරග බිමේ දක්ෂ ක්‍රීඩකයන් ප්‍රථම වතාවට අගය කරමින් ‘ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ කළ ලේක් හවුස් ආයතනය තවත් එවැනිම යුග මෙහෙවරකට පුරෝගාමී වෙමින් දිවයිනේ කාන්තා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවද එම තිළිණ ප්‍රදාන උළෙලට ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව ලබන වසරේදී පැවැත්වෙන 41 වැනි ‘ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මාන උළෙලේ සිට ‘වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව’ සම්මානයද ඇතුළත් වනු ඇත.
මීට අමතරව වසරේ හොඳම පාසල් පිතිකාරිනිය, හොඳම පන්දු යවන්නිය, හොඳම පන්දු රකින්නිය හා හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙසින්ද සම්මාන මේ තිළිණ ප්‍රදානෝත්සවයට ඇතුළත් වෙයි.
දිවයිනේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් තිළිණ ප්‍රදානෝත්සවය වන ‘ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ වේදිකාවට කාන්තා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව අගැයීමද එක් කිරීමට ලේක්හවුස් පාලනාධිකාරිය තීරණය කර තිබෙන්නේ එම ත්‍යාග ප්‍රදාන උළෙලට මේ වසරේදී වසර 40ක් පිරීම නිමිති කරගෙනය.
කාන්තා පාසල් මහ ක්‍රිකට් තරග 15ක් මේ වසර තුළ පැවැත්වෙයි. වාද්දුව මැදි විදුහල, පානදුර මහානාම මහා විද්‍යාලය, අප ස්වාමිදුවගේ විදුහල, නුවරඑළිය ගාමිණි මධ්‍ය මහ විදුහල, වවුනියා හින්දු විදුහල, මන්නාරම සිත්තිවිනයාගර් හින්දු විදුහල, ගම්පහ රත්නාවලි බාලිකා විදුහල, නුගේගොඩ අනුලා විදුහල, මහනුවර සාන්ත අන්තෝනි බාලිකා විදුහල, මහනුවර නුගවෙල මැදි විදුහල, ඔක්කම්පිටිය විජයබාහු විද්‍යාලය, ඇතිලිවැව කනිෂ්ඨ පාසල, කන්තලේ මැදි විදුහල, කන්තලේ සිංහල මහ විද්‍යාලය, මඩකලපුව මහජන විදුහල, මඩකලපුව සන්දිවාලි විදුහල, දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල, මැදගම කනිෂ්ඨ පාසල, කොළඹගේ ආර විදුහල, රත්නපුර කුරුවිට මැදි විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල, ගල්කිස්ස බෞද්ධ කාන්තා විදුහල, විශාඛා බාලිකා විදුහල, බදුල්ල මැදි විදුහල, මාතර අනුර විද්‍යාලය හා තලල්ල ධර්ම විජය විදුහල මේ කාන්තා පාසල් මහ ක්‍රිකට් තරගවලට සහභාගි වෙති. පසුගිය වසරේදී කාන්තා පාසල් 10ක් මහ ක්‍රිකට් තරග පැවැත්වූහ.
වසර 2014 සිට ආරම්භ කළ අන්තර් පාසල් අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් පළමු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නුගේගොඩ අනුලා විදුහල් පිල සමත්වු අතර ඉන් පසුව වසර 3ක් අඛණ්ඩව මේ ශූරතාව දිනාගැනීමට සමත්වූයේ රත්ගම දේවපතිරාජ විදුහල් පිලය. ලබන වසරේ සිට සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකා සම්මාන උළෙල ආරම්භ කිරීමත් සමග මෙරට බාලිකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ වැඩි උණුසුමක් සහ වැඩි තරගකාරිත්වයක් නිර්මාණය වනු ඇත.
පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇගැයිමට ලක් කරමින් මෙවැනි සම්මාන උළෙලක් ආරම්භ කිරීම මෙරට කාන්තා ක්‍රිකට් පිටියේ හිටපු ක්‍රීඩිකාවන්ගේ සහ වත්මන් ජාතික කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රබලතම ක්‍රීඩිකාවන් රැසකගේ ප්‍රසාදයට හේතුවී තිබේ.
බාලිකා පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වන ක්‍රීඩිකාවන් වෙනුවෙන් පළමුවතාවට මෙවැනි සම්මාන උළෙලක් පැවත්වීමට කටයුතු කිරීම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට හේතුවනු ඇතැයි පළමු වරට ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවූ වැනේසා ද සිල්වා මහත්මිය ‘දිනමිණ’ සමග එක්වෙමින් කියා සිටියාය.
‘ඇත්තෙන්ම ක්‍රිඩාවේ ජනප්‍රියත්වයට මේ සම්මාන උළෙල විශාල දිරියක් වෙවි. දැන් දැන් බාලිකා පාසල් අතර මහා ක්‍රිකට් තරගත් වැඩිවී තිබෙනවා. එවැනි පසුබිමකදී ඔවුන්ගේ දස්කම් ඇගැයිමට ලක් කරමින් සම්මානයට පාත්‍රවීම තුළින් ජාතික තලයේ ක්‍රීඩිකාවන් බිහිවීම සාර්ථක ක්‍රියාවලියක් වේවි. විශේෂයෙන් මාපියන්ට තමන්ගේ දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමට මෙය කදිම උත්තේජනයක්. ඒ වගේම තරගකාරිත්වය වැඩිවිමෙන් ජාතික කණ්ඩායමට විශිෂ්ට පාසල් ක්‍රීඩිකාවන් බිහිවීමේ හොඳ ආරම්භයක්. අපේ රටේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වයට මේ සම්මාන උළෙල විශාල රුකුලක් වෙන බව මට විශ්වාසයි.’ වැනේසා ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
පාසල් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් ඇගැයිමට සම්මාන ප්‍රදානයක් සිදුවුණත් බාලිකාවන්ගේ ක්‍රිකට් දස්කම් ඇගැයිමට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙයයි. මෙවැනි සම්මාන උළෙලක් පැවැත්විම අපේ රටේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත විමට හේතුවක්. ලේක්හවුස් ආයතනයෙන් සිදුකෙරෙන මේ මහඟු කර්තව්‍ය ජාතික කාන්තා කණ්ඩායමට විශිෂ්ට ක්‍රීඩිකාවන් රැසක් බිහිවිමේ පසුබිමක්. ඒ වගේම මෙවැනි සම්මාන උළෙලක් පවත්වා පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඇගැයිමට ලක් කිරීමෙන් ඔවුන් අතර තරගකාරිත්වයත් ඉහළ යාවි. ඔවුන්ගේ මානසිකත්වයත් ඉහළ යාවි. එය ජාත්‍යන්තර තලයේ ක්‍රීඩිකාවන් බිහිවිමට බලපාන ප්‍රබල සාධකයක් බවට පත්වේවි. මෙවැනි සම්මාන උළෙලක් පැවැත්වීමෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දස්කම් පෙන්විමටත්. ඒවා වැඩි දියුණු කරගැනීමටත් ලොකු ශක්තියක්. ජාතික කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු කියා සිටියාය.
පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙවැනි සම්මාන උළෙලක් පැවැත්වීම මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යාප්තියට වැදගත් සාධකයක්. ඒ වගේම බාලිකාවන්ගේ ක්‍රිකට් දස්කම් මෙවැනි සම්මාන ප්‍රදානයකින් ඇගැයීම තුළින් මේ ක්ෂේත්‍රයට වැඩි වැඩියෙන් ක්‍රීඩිකාවන් බිහිවීමට බලපාන කරුණක්. ජාතික කණ්ඩායමට එක්වීමට බලාපොරොත්තුවෙන් පසුවන අපේ රටේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන් මෙවැනි සම්මාන උළෙලකදී ලැබෙන දිරිගැන්වීම කාලෝචිත පියවරක්. ඔවුන් අතර තරගකාරිත්වය වැඩි වන නිසා දස්කම් ඉහළ යාවි. ඒ තුළින් ජාත්‍යන්තර තලයේ දස්කම් ඇති ක්‍රීඩිකාවන් රැසක් බිහිවේවි.
වර්නන් ගුණසේකර සහ ෆවුස් මොහොමඩ්


0 Comments