ඩොලර් මිලියන 1900 ක පුද්ගලික ආයෝජන ලබාගැනීමටත්, මෙරට වාර්තාගත වැඩිම ආයෝජන ප්‍රමාණය සහ අපනයන ආදායම වාර්තා කිරීමටත් පසුගිය වසරේදී හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ තත්ත්වය ඉදිරියට අඛණ්ඩව වර්ධනය වන බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙවැනි ආයෝජනයක් මීට පෙර පෞද්ගලික, සේවා සහ නිෂ්පාදන අංශවලට ලබා ගැනීමට නොහැකි වූ බව පෙන්වා දුන්නේය. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා අලුතින් බඳවාගත් නව නිලධාරීන් හාරදහස් පන්සියකට පත්වීම් ලිපි පිරිනමමින් අරලියගහ මන්දිරයේ ඊයේ (14)පැවැති උත්සවයේ දී අගමැතිවරයා මේ බව පැවසීය.
2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් ආයෝජනයන් නොලැබුණු බවත් ප්‍රථම වතාවට යුද්ධයෙන් පසු රැකියා ලබාදීමේ යුගයක් මෙම රජය නිර්මාණය කර ඇති බවත් අගමැතිවරයා පැවසිය. යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් ආයෝජනයන් නොලැබුනු නිසා රට දියුණුව කරා ගෙනයාම අපහසු වුණු බව පැවසු අගමැති වික්‍රමසිංහ මහතා 2015 දී බලයට පත් වූ විගස රජයට සිදු වුනේ ණය ගෙවීමට බවත් පුද්ගලික ආයෝජකයන් මෙහි පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ශක්තිය ඇති නම් පමණක් බවත් කීය.
2015 වසරේ ලැබුණු ආදායම ණය ගෙවීමට ප්‍රමාණවත් නොවුණු නමුත් අද රටේ ආදායමෙන් ණය ගෙවීමටත් සංවර්ධනය සඳහා මුදල් යෙදවීමටත් හැකියාව ලැබී තිබෙන බවද පැවසිය. එය ඉතා අපහසු කටයුත්තක් බව පැවසූ අගමැතිවරයා විශාල ණය කන්දරාව නිසා සංවර්ධනයට යෙදවීමට තිබෙන මුදල් සීමා වන බව කීය. කෙසේ වුවත් පසුගිය වසරේ ඩොලර් මිලියන 1900 ක පුද්ගලික ආයෝජන ලබාගැනීමට හැකි වීම ආරම්භයක් පමණක් බවත් මීට පෙර මෙවැනි ආයෝජන ශ්‍රී ලංකාවේ නොතිබූ නිසා ඒ පිළිබඳ සතුටට පත්විය හැකි බවද කීය.
මේ වසරේ මීටත් වඩා ආයෝජන ප්‍රමාණයක් බලාපොරොත්තු වන බවත් රටේ නිෂ්පාදන, සංචාරක ආදි අංශවලින් මෙම ආයෝජන ආරම්භ කර 2020 වන විට එම ආයෝජන සංඛ්‍යාව තවත් වැඩි කරන බවද එවැනි විශාල දියුණුවක් ඉදිරියේ දී ඇති වීමෙන් රටේ ආර්ථිකයේ වර්ධනයක්ද ලඟා කර ගත හැකි බවද කීය. මේ සඳහා දැනට හම්බන්තොට හැර තවත් වෙළෙඳ කලාප 3 ක් බිංගිරිය, කලූතර, වැලිගම ප්‍රදේශවල ඉදිවෙන බවද වැඩි දුරටත් සඳහන් කළේය.


0 Comments