වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිගනිමින් විදෙස් රටවල් සමඟ පවතින සබඳතා ඉහළ යැම හේතුවෙන් මේ වසර අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 17.4 ක අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවනු ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා විශ්වාසය පළ කරයි.
ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ දී ඊයේ (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් මලික් සමරවික්‍රම මහතා මෙසේද පැවසිය. පසුගිය 2015 වසරේ දී ආණ්ඩුව බාර ගන්නා අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 12ක්ව පැවැති නමුත් පසුගිය 2017 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 15.5ක දැවැන්ත අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිවූ බවද ඊට සාපේක්ෂව මේ වසර අවසානය වනවිට ඉහළ අපනයන ආදායමක් අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කරයි.
මෙය ශ්‍රී ලංකාවට හොඳ ප්‍රතිඵලයක් බවත් මෙවැනි වර්ධනයක් වෙනුවෙන් දායකත්වය දුන් සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බවත්ය. වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිගනිමින් එක් එක් රටවල් සමඟ ඇතිකරගෙන තිබෙන සබඳතා හේතුවෙන් මෙවැනි ඉහළ අපනයන ආදායමක් කරා ගමන් කිරීමට හැකිව තිබෙන බවද මේ වසරේ පළමු මාස තුනේ දී පමණක් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන තුනක් වන අතර එය සේවා ආදිය ද සැලකිල්ලට ගත්විට අමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණ වන බවද පෙන්වා දුන්නේය.
මේ අතර පසුගිය 2017 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 1.9ක විශාලතම ආයෝජන ශ්‍රී ලංකාවට ලැබී තිබෙන අතර එම අගය මේ වනර අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක අගයක් දක්වා ඉහළ යනු ඇති බවද මේ වසරේ මුල් මාස තුනක කාලයේ දී අපේක්ෂිත ඉලක්කය වූ අමෙරිකානු ඩොලර් මිලියන 315ක වටිනාකම ඉක්මවා යමින් ඩොලර් මිලියන 465ක විදෙස් ආයෝජන ලැබී තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මේ වසරේ පළමු මාස තුනේ දී අමෙරිකානු ඩොලර් බිලියනයක ව්‍යාපෘති වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමැතිය දී තිබෙන බවද පවතින නීතිරීති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් හැම අවස්ථාවකම ආයෝජනය කරන සමාගම් වෙනුවෙන් සහන ලබාදෙන්නට රජය විසින් පියවර ගෙන තිබෙන බවද කී මලික් සමරවික්‍රම මහතා මේ වනවිට හම්බන්තොට තාප බලාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් අනුමැතිය දී තිබෙන බවද ප්‍රකාශ කෙළේය.
මෙගාවොට් 400ක් පමණ වන එම බලාගාරය වෙනුවෙන් චීන සමාගමක් ආයෝජනය කරන බවද ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ආයෝජනය කරන බවද හෙතෙම පැවසීය. කෙසේ වුවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.9ක අපනයන ආදායමින් වැඩි ප්‍රමාණයක් හම්බන්තොට වරාය ලැබුණු ඒවා බවට ඇතැමුන් ප්‍රකාශ කළ නමුත් එම වරායෙන් ලැබී තිබෙන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 292ක් පමණක් බවයි.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ උපදේශක කේ.ජේ වීරසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී ඉන්දිරා මල්වත්ත මහත්මිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
මහින්ද අලුත්ගෙදර සහ සඳුන් රමේෂ්
0 Comments