Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඇමැතිවරුන්ගේ මහා සමුළුව අද

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාවට ගෝල්ඩ් කොස්ට්වලදී උණුසුම් පිළිගැනීමක්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඇමැතිවරුන් 71කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පොදු රඳ මඩුලු ක්‍රීඩා ඇමැති මහා සමුළුව ගෝල්ඩ් කොස්ට්හිදී අද දින පැවැත්වෙයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා ඇමැති නීතීඥ දයාසිරි ජයසේකර ජයසේකර මහතා මෙම සමුළුවට සහභාගීවන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමග ක්‍රීඩා ක්ෂෙත්‍රයේ සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමට යෝජනා කිහිපයක් මෙහිදී ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.

ක්‍රීඩා ඇමැතිවරුන්ගේ මෙම සමුළුව මගින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ක්‍රීඩා සබඳතා ගොඩ නැගීම, ක්‍රීඩා නීති උල්ලංඝණය නොකිරීමේ වැදගත්කම හා තහනම් උත්තේජක භාවිතයෙන් තොර ක්‍රීඩාව වැනි කරුණු සමාලෝචනය වේ. එමෙන්ම ක්‍රීඩාව තුලින් සෞඛ්‍ය, අධ්‍යාපනය හා ආර්ථිකය වැඩි දියුණු කර ගැනීමේ උපාය මාර්ග පිළිබඳ අවධානය යොමු කිරීමද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඇමැති සමුළුවේදී සිදුවේ.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පැමිණ ගෝල්ඩ් කෝස්ට් ක්‍රීඩා ගම්මානයේ රැදී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඊයේ උණසුම් පිළිගැනීමක් හිමිවුණි. ක්‍රීඩා ඇමැති නීතීඥ දයාසිරි ජයසේකර ජයසේකර මහතා ඇතුලු පිරිස උණුසුම් ලෙස පිළිගත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා බළධාරීහූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්ම විශේෂ උත්සවයක් ද ක්‍රීඩා ගම්මානයේ සංවිධාන කොට තිබුණි.

ඔස්ට්‍රේලියානු ඉතිහාස මතකයට නංවමින් ලෝකයේ ඉතාම පැරණි ජන සමූහයක් ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඇබෝජියන්වරුන්ගේ සාම්ප්‍රදායික නර්තනවලින් වර්ණවත්වු මෙම පිළිගැනීමේ උළෙල ඉතා සිත් ගන්නා සුලු එකක් විය. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාවේ මිතුදම තහවුරු කරමින් ක්‍රීඩා කණ්ඩායම වෙත සමරු තිළිණයක් ද මෙහිදී ප්‍රදානය කෙරුණි.

මේ ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ හම්බන්තොට සමග ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් නගරය වසර 2011 ඔක්තෝම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්හි පිහිටා ඇති සාන්ත කිට්ස් හා නෙවීස් හී ඡන්ද විමසීමට ඉදිරිපත්ව ගොල්ඩ් කොස්ට් නගරය ජයගත් හෙයින් සත්කාරක ඔස්ට්‍රේලියානුවන්ගේ අවධානය ශ්‍රී ලංකා පිල වෙත වැඩි වශයෙන් ලැබී ඇත.

මේවන විට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් වැඩි පිරිසක් ගෝල්ඩ් කොස්ට් වෙත පැමිණ සිටින හෙයින් ක්‍රීඩා උළෙල පැවැත්වෙන සියලුම ක්‍රීඩා සංකීර්ණවලට හා ක්‍රීඩා ගම්මානයට ප්‍රභූ ආරක්ෂක විධිවිධාන ලැබී තිබීම විශේෂත්වයකි. ක්වීන්ස්ලන්ත පොලීසිය හා යුද හමුදා කොමාන්ඩෝ බලකාය මෙම ප්‍රභූ ආරක්ෂක සේවය ක්‍රියාත්මක කරමින් සිටී.

ක්‍රීඩා ගම්මානයේ ආන්දෝලනයක්

ක්‍රීඩා ගම්මානයේ නවාතැන් ගෙන සිටින ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ කාමර පිරිසිදු කිරීමට ගිය සේවිකාවන් පිරිසකට, එන්නත් විදින සිරින්ජරයක් හමුවීමෙන් ක්‍රීඩා ගම්මානය තුල මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. එම සිරින්ජරය යොදා කිසියම් තහනම් උත්තේජකයක් ශරීරගත කරගත්තේද නොඑසේනම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සංවිධායකයන් නොමග යැවීමට කිසියම් අයෙකු උත්සහ කළේද යන්න පිළිබද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කොට ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පැමිණ සිටින ඉන්දීය ක්‍රීඩා කණ්ඩායම් කළමනාකරු පවසා ඇත්තේ ක්‍රීඩා ගම්මානයේ හමුවූ එන්නත් විදින සිරින්ජරය හා තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එය තම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කීර්ති නාමයට කැළලක් කිරීමට ගත් උත්සහයක් බව ඉන්දීය ක්‍රීඩා කළමණකරු සදහන් කර සිටී.

කෙසේ වුවද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජන පරීක්ෂාවකට ලක්වන අතර එම ප්‍රතිපත්තියෙන් බැහැරව සිටීමට කිසිදු ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට නොහැකිව ඇත.

මේ අතර ක්‍රීඩා මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ හැදුනුම්පත් සකසා ඔස්ට්‍රේලියාවට ඇතුලුවීමට උත්සහ දැරූ ඉන්දීය ජාතිකයන් 9ක් ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශවලට හසුවීමත් සමග ක්‍රීඩා උළෙලට පැමිණෙන මාධ්‍යවේදීන් දැඩි පරීක්ෂාවට ලක්කිරීමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

ඔස්ට්‍රේලියාවට ඇතුලුවීමේදී මාධ්‍යවේදීන් වෙන වෙනම ප්‍රශ්න කරමින් පරික්ෂා කිරීමට ගුවන් තොටුපොල ආරක්ෂක නිලධාරීහූ අංශ කටයුතු කරමින් සිටින අතර ආරක්ෂක දැලට හසුවූ ඉන්දීය ජාතිකයන් මේ වන විට බ්‍රිස්බේන් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();