Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක හෙවිවෙට් බොක්සිං ආධිපත්‍ය ජෝෂුආට

Author(s): 
වර්නන් ගුණසේකර

ජාත්‍යන්තර බොක්සි සම්මේලනය - IBF හා ලෝක බොක්සිං සංගමයේ - WBA හෙවිවේට් ශූර එංගලන්තයේ ඇන්තනි ජොෂුආ දැන් ලෝක බොක්සිං සංවිධානයේ - WBO හෙවිවේට් කිරුළ ද හිමිකර ගැනීමට සමත්ව සිටී.

ජොෂුආ සෙනසුරාදා කාඩිෆ් නුවරදී ජෝසප් පාකර්ගෙන් ලෝක බොක්සිං සංවිධාන හෙවිවේට් ශූරතාව උදුරා ගත්තේ විනිසුරුවන්ගේ ඒකමතික වැඩි ලකුණු තීරණයකිනි.

මේ කිරුළ තමන්ගේ අනිත් කිරුළු සමග එකතු කර ගැනීම සඳහා ජොෂුආ ට ඔහුගේ වෘත්තීය බොක්සිං දිවියේ ප්‍රථම වතාවට සම්පූර්ණ තරගය ම සටන් කිරීමට සිදුවිය. වට 12ක් අවසානයේ ජොෂුආ තරග විනිසුරුවන් තිදෙනාගෙන් ලකුණු 118-110, 118-110 හා 119-109ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය. මේ ජයග්‍රහණයත් සමග 2012 ලන්ඩන් ඔලිම්පික් බොක්සිං ශූරයාගේ අතිසාර්ථක වාර්තාව තරගය 21යි ජයග්‍රහණ 21ක් ලෙස සටහන් විය.

එහෙත් ප්‍රතිවාදියා බිම හෙළමින් ජය අත්කර ගැනීමට ජොෂුආ ට නොහැකි වූ ප්‍රථම අවස්ථාවද මෙය විය. නවසිලන්තයේ පාකර්ගේ තරග 25ක වෘත්තීය බොක්සිං ජීවිතයේ ඔහු ලැබූ ප්‍රථම පරාජය මෙය විය.

ප්‍රින්සිපලිටි ක්‍රීඩාංගණයේ අතුරු සිදුරු නැතිව පිරී සිටි 78,000ක් නරඹන්නන් ඉදිරියේ පැවැති මේ තරගය, අපරාජිත හෙවිටේට් ශූරයන් දෙදෙනෙක් ලෝක කිරුළක් වෙනුවෙන් සටන් කිරීමට බ්‍රිතාන්‍යයේදී මුණගැසුනු ප්‍රථම අවස්ථාව විය.

ජගත් හෙවිවේට් බොක්සිං වළල්ලේ ඇන්තනි ජොෂුආ ට දැන් තිබෙන එක ම අඩුව ලෝක බොක්සිං කවුන්සල - WBC කිරුළ යි. එය දැනට හිමිකර ගෙන සිටින්නේ අමෙරිකාවේ ඩියොන්ටේ විල්ඩ ය.

ජොෂුආ සහ පාකර් ගැටුම නැරඹීම පිණිස විල්ඩ බොක්සිං වළල්ල සමීපයේ සිටීමට නියමිතව තිබුනද ඔහු පැමිණියේ නැත. ජයග්‍රහණයෙන් පසුව ජොෂුආ, “විල්ඩ..එන්න බබෝ...අපි ගහගනිමු“ යැයි කියා සිටියේය. “එයාව එක්ක එන්න. මම සිහිනැති වෙන්න එයාට දෙන්නම්. මතක තියා ගන්න. ලෝකයේ හෙවිවේට් කිරුළු එක්සත් ශූරයා මම යි! ඒ කියන්නේ ලෝක කිරුළු සටන් හයක් එක්ක වෘත්තීය තරග විසි එකක්.“

තරගයෙන් ජොෂුආ ට අමෙරිකානු ඩොලර් මිලියන 15ක් ලැබුනු අතර පාකර් ඩොලර් මිලියන 7ක් ඉපයීය. මෙය පැහැදිලිවම පරාජිත බොක්සිං ක්‍රීඩකයාගේ වෘත්තීය දිවියේ ලොකු ම තරගය විය.

ජොෂුආ කිලෝ ග්‍රෑම් 110.4ක් හා පාකර් කිලෝ ග්‍රෑම් 102.3 බර ප්‍රමාණවලින් යුතුව බොක්සිං වළල්ලට පිවිසියහ. වළල්ල අසල සිට පාකර්ගේ මව බලා සිටියදී ජොෂුආ තරගයේ පළමු වටය ආරම්භයේදීම වළල්ලේ මැද ස්ථානය අයිති කර ගත්තේය. පාකර්ගේ වම් ඇස වටා සිදුවූ කැපුම් තුවාලයක් තෙවැනි වටයේ සිටම පැහැදිලිව දර්ශනය වන්නට විය.

සිවුවැනි වටයේදී පාකර් ට ශක්තිමත් වමත් පහරකින් සංග්‍රහ කළ ජොෂුආ, එම වටයේ අවසානය හඟවන සීනුව නාද වීමට තත්පර කිහිපයකට පෙර තවත් එවැනිම පහරක් එල්ල කළේය.

එහෙත් පස්වැනි වටයේදී පාකර් හොඳ ප්‍රහාර සම්බන්ධතාවකින් ජොෂුආ ට පහර එල්ල කළ අතර හයවැනි වටයේ මුල් අවස්ථාවලදී දෙදෙනා අතර දරුණු ප්‍රහාර හුවමාරුවක් සිදුවීම නිසා තරග විනිසුරුට ඊට මැදිහත් වීමට සිදුවිණි. තරගයේ බොහෝ අවස්ථාවල දෙදෙනාගෙන් කෙනෙක් එක දිගට පහර වැලක් එල්ල කරන බවක් දිස්වෙද්දී ම විනිසුරු කළින් ම මැදට පැනීම නිසා තරගකරුවන් දෙදෙනා ම ඉච්ඡා භංගත්වයට පත්ව සිටියහ.

දහවැනි වටයේදී පාකර්ගේ වම් ඇස වට වූ කැපුම දරුණු අතට හැරී තුවාලයෙන් ලේ ගලන්නට විය. එහෙත් සටන්කාමී පාකර් නොනවත්වා ම තරග වැදුනු අතර සටන අවසානයේ නරඹන්නන් නැගූ “හූ“ හඬ එල්ල වී තිබුනේ බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනා ට වඩා තරග විනිසුරු වෙත ය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();