ශ්රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධාන කරන රුක්මණී කෝදාගොඩ අනුස්මරණ කුසලාන ගොල්ෆ් තරගාවලිය ඇරැඹේ. මෙරට කනිෂ්ඨ ගොල්ෆ් ක්රීඩක ක්රීිඩාවන්ට සිය දස්කම් මුවහත් කරගැනීමට වැඩි අවස්ථාවක් උදාවන මේ තරගාවලියට අවුරුදු 15-18 වයස් කාණ්ඩයේ රන් පදක්කම් අංශය, අවුරුදු 12-14 වයස් කාණ්ඩයේ රිදී පදක්කම් අංශය, අවුරුදු 10-11 වයස් කාණ්ඩයේ ලෝකඩ පදක්කම් අංශය සහ අවුරුදු 9න් පහළ තඹ අංශය ඇතුළත්ය.
ඊයේ ආරම්භ වූ මේ තරගාවලිය මේ මස 5 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී පැවැත්වෙන අතර සමස්ත ශූරයාට රුක්මණී කෝදාගොඩ අනුස්මරණ කුසලානය හිමිවෙයි.
පෙරේරා සහ පුත්රයෝ සමාගමේ පස්වැනි අඛණ්ඩ අනුග්රාහකත්වය යටතේ පැවැත්වෙන මේ තරගාවලියට පසුගිය වසරේ සිට කාන්තා තරග අංශයටත් කුසලානයක් පිරිනැමීමට කටයුතු යොදා තිබිණි. පසුගිය වසරේදී කාන්තා කුසලානය දිනාගැනීමට විශිෂ්ට යොවුන් ක්රීඩිකා ටානියා මිනෙල් සමත්වූවාය. පසුගිය වසරේ දී සමස්ත ජයග්රාහකයා වූ ටී.ආකාශ්ට ඔහුගේ වයස් සීමාව සම්පූර්ණ වීම හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ගිලිහී ගිය අතර පසුගිය වසරේ සමස්ත අනුශූරයා වූ විනෝද් වීරසිංහට මෙවර කුසලානය අත්කර ගැනීමේ කදිම අවස්ථාවක් නිර්මාණය වී තිබේ.
ආර්මන්ඩ් කල්දේරා, විහාන් ද අල්විස්, සත්සර ඩිල්ෂාන් සහ මහනුවර වික්ටෝරියා ගොල්ෆ් ක්රීඩා සමාජයේ පී.ඒ.දිමුති මෙවර කුසලානය හඹා යන සෙසු ක්රීඩකයෝ වෙති.
පසුගිය වසරේදී රිදී පදක්කම් අංශය ජයගත් නුවරඑළිය ගොල්ෆ් සමාජයේ එස්.දුවර්ශන් මෙවරත් සිය කුසලානය රැක ගනු ඇතැයි අනාවැකි පළවී තිබේ.
කාන්තා ආධුනික ගොල්ෆ් කිරුළ ජයගත් යොවුන් ක්රීඩිකා ටානියා මිනෙල් මෙවර තරගාවලියේ කැපී පෙනෙන ක්රීඩිකාව බවට පත්වී තිබීම විශේෂත්වයකි.
මෙවර තරගාවලියේ දී ටානියාගේ විශිෂ්ට දස්කම් දැකබලාගැනීමට දැඩි කැමැත්තෙන් පසුවන බව තරගාවලියේ අනුග්රාහක පෙරේරා සහ පුත්රයෝ සමාගමේ කලමනාකාර අධ්යක්ෂ ගිහාන් පෙරේරා මහතා ප්රකාශ කළේය.
0 Comments