Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාව අද සිට පදක්කම් දිනන සටනක

ආදරය - නිදහස හා අහිංසකත්වය තේමා කොට ගත් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ විචිත්‍රවත් සමාරම්භක උළෙල බ්‍රිස්බේන් හී ගෝල්ඩ් කොස්ට් නගරයේ කැරාරා ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වීමෙන් අනතුරුව අද සිට මේ 15 වැනිදා දක්වා ක්‍රීඩා තරගවල උණුසුම දසත පැතිර යයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 81කින් හා නිලධාරීහු 39කින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිට ඉතා කාර්ය බහුල තත්ත්වයක් උදාවී ඇත. ක්‍රීඩා තරග පැවැත්වෙන පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බර ඉසිලීම, ස්කොෂ්, බැඩ්මින්ටන්, පිහිනුම් හා ටේබල් ටෙනිස් ක්‍රීඩා නියෝජනය කරමින් තරග බිමට පිවිසෙති.

මේ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම් අපේක්ෂා ඇති බර ඉසිලීමේ තරග දෙකකට අද චතුරංග ලක්මාල් හා හංසනී ගෝමස් පිවිසෙති. පිරිමි කිලෝග්‍රෑම් 56 බර පන්තියේ තරගයට චතුරංග සහභාගීවන අතර කාන්තා කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් හංසනී සටනට පිවිසේ. මේ දෙදෙනාම පදක්කම් දිනාගත හැකි ආසන්න මට්ටමේ පසුවන බව පුහුණුකරු ආර්. බී. වික්‍රමසිංහ මහතා ‘දිනමිණ’ ට පැවැසීය. ඉතා හොඳ ආත්ම විශ්වාසයකින් තරගයට අවතීර්ණවීම වඩාත් වාසිදායක බව පුහුණුකරුගේ මතයවී ඇත.

“බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර වෙනදාටත් වඩා හොඳ මට්ටමක සිටිනවා. අපේ කණ්ඩායම පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට වඩා හොඳ දක්ෂ කණ්ඩායමක්. හොඳ පුහුණුවක් ලබා තිබෙනවා. ඒ වගේම මෙයට මාසයකට පමණ පෙර ගෝල්ඩ් කෝස්ට් නගරයේ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවට ඔවුන් සහභාගී වූවා. එය මේ ක්‍රීඩා උළෙලට හොඳ අත්දැකීමක්. ලක් මාතාවට ගෞරවයක් ගෙන දෙන්න අපේ බර ඉසිලීමේ කණ්ඩායම සූදානම්” වික්‍රමසිංහ මහතා පැවැසීය.

විශේෂයෙන්ම හංසනී ගෝමස්, චමරී වර්ණකුලසූරිය, චතුරංග ලක්මාල්, තිලංක පළඟසිංහ, ජී. එම්. අයි. සී. දිසානායක හා චිංතන ගීතාල් විදානගේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනට සිටින දක්ෂතා අනුව යහපත් ප්‍රතිඵල පෙන්වනු ඇතැයි විශ්වාසයවී තිබේ. මෙයින් චිංතන ගීතාල් විදානගේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 3කට සහභාගීවී අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකුවන අතර එක් අවස්ථාවකදී බර ඉසිලීමෙන් රන් පදක්කමක් දිනා ගෞරවය ගෙන ඒමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාද වන චිංතන ගීතාල් විදානගේ ඊයේ පැවැති සමාරම්භක උළෙලේදී ජාතික ධජය රැගෙන පෙරටුව ගමන් ගත්තේය. ප්‍රධාන ආරාධිතයා ලෙස එංගලන්තයේ මහ රැජන නියෝජනය කරමින් පැමිණ සිටි ඔටුන්න හිමි චාල්ස් කුමරු හා ආර්යා කැමිලා පාකර් මහත්මිය ඉදිරියෙන් ක්‍රීඩා උළෙලට සහභාගීවන සියලුම රටවල් තම ධජ රැගෙන කරාරා ක්‍රීඩාංගණයේ පෙළ ගැසුණි.

ඔස්ට්‍රේලියාවේ වසර 65000ක ඉතිහාසයේ පළමු පුරවැසියන් ලෙස සැලකෙන ‘ඇබෝර්ජියානු’ ජාතික 11හැවිරිදි ඉසෙබෙලා ග්‍රෙහෑම් ලොව නන් දෙසින් පැමිණි සියලු දෙනා පිළිගනිමින් සමාරම්භක උළෙලේ මුල්ම කතාව පැවැත්වූවාය. අනතුරුව ඔස්ට්‍රේලියා ජන ජීවිතයේ විකාශය හා ඒ ඇසුරින් නිර්මාණයවූ අපූර්ව ප්‍රාසාංගික අත්දැකීමක් සමීප විය.

අද පැවැත්වෙන තරග අතුරින් පිහිනුම් මීටර් 50 සමනළ ආර මූලික වටයේ තරගයට චෙරන්ත ද සිල්වා හා අකලංක පීරිස් පිවිසෙන අතර මේ දෙදෙනා මීළඟ වටයට පිවිසීමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවේ. ශ්‍රී ලංකාවෙන් පිහිනුම් තරගවලට ක්‍රීඩකයන් 4ක් හා ක්‍රීඩිකාවන් දෙදනකු ගෝල්ඩ් කෝස්ට් වෙත පැමිණ සිටින අතර පසුගිය වසරේ බහමාස් පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් දිනාගත් කයිල් අබේසිංහ ද කණ්ඩායමේ සාමාජිකයෙකි.

ස්කොෂ් කාන්තා හා පිරිමි ඒකළ තරග අද පැවැත්වෙන අතර එහිදී කාන්තා ඒකළ මූලික වටයේ තරගයකට මිහිලියා මෙත්සරණී, නවසීලන්තයේ අමන්දා ලැන්ඩර්ස් සමග තරග කරන අතර පිරිමි ඒකළ මූලික වටයේ තරගයකදී රවීන්ද්‍ර ලක්සිරි ෆීජී හී රොමේට් පැරස්හොටම් සමග තරගයට පිවිසේ.

බැඩ්මින්ටන් තරග ආරම්භ කරමින් පළමු දිනයේදී මිශ්‍ර යුගල තරග පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාව - ඉන්දියාව අතර හා ස්කොට්ලන්තය - ශ්‍රී ලංකාව අතර තරග පැවැත්වේ. මෙයින් ඉන්දියාව සමග තරගය ශ්‍රී ලංකාවට අසීරු එකක් වීමට ඉඩ ඇතැත් ස්කොට්ලන්තය සමග කරට කර සටනක නිරතවීමේ හැකියාව උදාවනු ඇත.

ටේබල් ටෙනිස් කාන්තා හා පිරිමි කණ්ඩායම් තරග පැවැත්වෙන අතර එහිදී කාන්තා කණ්ඩායම නියෝජනය කරන ඉෂාරා මධුරංගී, එරන්දී වරුසවිතාන හා හංසනී කපුගීකියන සිංගප්පූරු ක්‍රීඩිකාවන් සමග තරග වදිති. පිරිමි කණ්ඩායම නියෝජනය කරන බුවනෙක ජයසිංහ, රොහාන් සිරිසේන හා ඉමේෂ් රණසිංහ කැනඩාවට එරෙහිව තරග බිමට පිවිසෙති. 

ප්‍රින්ස් ගුණසේකර
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් සිට...

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();