කතෝලික ලෝකයේ එදාමෙදාතුර බිහිවූ වඩාත්ම ලිබරල් නායකයා, ආන්දෝලනාත්මක නිර්භය ප්‍රකාශකයා වත්මන් පාප්වහන්සේ ය. අතිඋතුම් සුදොවුන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ය. උන්වහන්සේ පසුගිය බදාදා දිනයේ කළ ප්‍රකාශයක් නිසා මේ වන විට ක්‍රිස්තියානි සද්ධාර්මිකයන් සහ සකල කතෝලික ලෝකයම ගිනි වැදී ඇත. ඒ ප්‍රකාශය මගින් උන්වහන්සේ නිරයක පැවැත්ම, එසේත් නැතිනම් අපායක් ඇත යන මූලධාර්මික අදහස ප්‍රතික්ෂේප කරති.
ඒ ප්‍රකාශය සමග සකල වතිකානයම සෙළවී ඇත.
‘ලා රිපබ්ලිකා’ (La Repubblica) යනු ඉතාලියේ රෝම අගනුවර පළ කෙරෙන ප්‍රකට දිනපතා පුවත්පතකි. එහි පසුගිය බදාදා දිනයේදී අති උතුම් පාප්වහන්සේගේ සවිස්තරාත්මක ප්‍රකාශයක් පළ කර තිබිණි. එම අදහස් උන්වහන්සේ විසින් පළ කර තිබුණේ එම පුවත්පතේ ප්‍රකට මාධ්‍යවේදියෙක් වන ඉයුජිනෝ ස්කැල්ෆාරි වෙත ය. 93 හැවිරිදි ඔහු එම පුවත්පතේ ආරම්භකයා ද වෙයි.
මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඉයුජින් ස්කැල්ෆාරි පාප්තුමාගෙන් අසනුයේ ‘නපුරු ආත්ම යන්නේ කොහාටද?” යන්නයි. පුවත්පත් වාර්තාවට අනුව එහිදී උන්වහන්සේ ලබා දී ඇති පිළිතුර මෙසේ ය.
“ඔවුන්ට දඬුවම් ලැබෙන්නේ නැහැ.. පසුතැවිලි වන්නන් දෙවියන් වහන්සේගේ සමාව ලබනවා. උන්වහන්සේ ව මෙනෙහි කරන්නන් අතරේ ඔවුන්ට තැනක් ලැබෙනවා. නමුත් පසුතැවිලි නොවන්නන් සහ සමාව දිය නොහැකි අය අතුරුදහන් වී යනවා. අපායක් නැහැ… පව්කාර ආත්ම අතුරුදහන් වීම නම් සිදුවෙනවා..”
“A hell doesn’t exist, the disappearance of sinning souls exists.”
වතිකානය මේ නිසා කොතරම් කලබලයට පත්වී ද යත්, මේ වන විට ඔවුන් විසින් මේ පිළිබඳ සංක්ෂිප්ත ප්‍රකාශයක් ද නිකුත් කර ඇත. එයින් යෝජනා කරන්නේ මාධ්‍යවේදියා විසින් පාප්වහන්සේගේ අදහස් ‘නිරයක් නැත’ යන අදහස මතු වන සේ ප්රතිනිෂ්පාදනය කර ඇති බව ය. ‘එය සුදොවුන් පියතුමාගේ වදන් විශ්වාසනීය ලෙස පිටපත් කිරීමක් නොවේ” යැයි ද එහි සඳහන් වේ. එසේම ලිපියේ සඳහන් කිසිදු උපුටනයක් අති උතුම් පාප්වහන්සේගේ වදන් සේ නොගිණිය යුතු බව ද එහි දැක්වේ.
ස්කල්ෆාරි සැලකෙන්නේ ඉතාලියේ අති ප්‍රකට මාධ්‍යවේදියෙකු වශයෙනි. එසේම ඔහු සම්මුඛ සාකච්ඡාවලදී ඒවා පටිගත කිරීම හෝ සටහන් ගැනීම සිදු නොකරන අයෙක් ලෙස ද ප්‍රකට ය. ඔහු සුදොවුන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දීර්ඝකාලීන මිත්‍රයෙක් ද වේ. එසේම ඔහු අදේවවාදියෙක් ලෙස ද ප්‍රකට ය. ගතවූ වසර 5 තුළ පාප්වහන්සේ සම්මුඛ සාකච්ඡා 5 ක් ලබාදී ඇති අතර, ඒ හැම එකක්ම පාහේ පුවත්පතේ මුල් පිටුවේ පළ විය.
‘නිරයක් නැත’ යැයි කියූ සැණින් කතෝලික ලෝකය මෙතරම් කලබල වන්නේ ඇයි? කතෝලික ඉගැන්වීම්වලට අනුව නිරය හෙවත් අපාය සහ එහි නිශ්චිතභාවය දැඩි සේ පිළිගනියි. “නිරයේදී ලැබෙන ලොකුම දඬුවම දෙවියන් වහන්සේගෙන් සදාකාලිකව වෙන් වීමයි..” යනුවෙන් එහිදී ඉගැන්වෙයි.
මේ අතර මේ තාක් කාලයකට වතිකානයේ පහළ වූ කිසිදු පාප්වහන්සේ කෙනෙක් නිරයේ පැවැත්ම අභියෝගයට ලක් කළේ නැත. 2007 වසරේදී 16 වැනි බෙනඩික්ට් පාප්වහන්සේ පැවසුවේ ‘නිරය පතින බව සහ, ඒ ගැන කිසිවෙක් වැඩිදුර කතා නොකළ ද නිරයේ පැවැත්ම සදාකාලික බව” ය. මේ අතර 1999 වසරේදී දෙවන ජුවාන් පාවුළු පාප්වහන්සේ නිවේදනය කළේ නිරය යනු යම් ස්ථානයකට වඩා පවට ලැබෙන අත්‍යන්ත විපාකය බවයි.
වත්මන් පාප්වහන්සේ කතෝලික මූලධර්මවාදයට දූස්රා පහර එල්ල කරමින් සිටින්නේ අද ඊයේ සිටක නොවේ. උන්වහන්සේ මෙයට දින කිහිපයකට පෙර රෝමයේ කුප්‍රකට කොයෙලි බන්ධනාගාරයට ගොස් සිරකරුවන් 12 දෙනෙකුගේ පා දෝවනය කළහ. ඒ සිරකරුවන් නොඑසේ නම් රැඳවියන් අතර මුස්ලිම් ජාතිකයෙක්, සධාර්මික ක්‍රිස්තියානි බැතිමතෙක් සහ බෞද්ධයෙක් ද වූහ. උන්වහන්සේ ඔවුන්ට මෙසේ කීහ. “හැම කෙනෙකුටම ජීවිතය වෙනස් කර ගන්න අවස්ථාවක් ලැබෙනවා. කිසිවෙක් විනිශ්චය කළ නොහැකියි.” උන්වහන්සේ බන්ධනාගාරවලට ගොස් මේ ආකාරයේ දේව මෙහෙයක් පැවැත්වූ සිව් වැනි වතාව මෙයයි. “මමත් ඔබ වගේම පව්කාරයෙක්. නමුත් මම අද ජේසුතුමා නියෝජනය කරනවා… දෙවියන් වහන්සේ කිසි විටෙක අපව අත්හැර දමන්නේ නැහැ. අපට සමාව දීමෙන් කිසිවිටෙක වෙහෙසට පත්වන්නේ නැහැ…” යැයි ද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළහ.
අවසානයේ උන් වහන්සේ රෝමානු කොලෝසියමේදී පාස්කු දේව මෙහෙය පැවැත්වූයේ දැඩි රැකවල් මධ්‍යයේ ය.
පාස්කු ඉරිදා මගින් සමරන්නේ ජේසුස් වහන්සේ කුරුසිගත වීම සහ කල්වාරි කන්දේදී මරණයට පත්වීමයි. ජේසු තුමන් කුරුසිගත වූයේ මිනිස් පුතුන්ගේ පව් කමාකරන්නට බව කියැවේ. කල්වාරි කන්දේදී ඔහු සමග ඇණ ගසා මරා දැමුවෝ සොරුන් සත් දෙනෙකි. කතෝලික ඉගැන්වීම්වලට අනුව පුරා වසර 2000 ක් මුළුල්ලේ විශ්වාස කෙරුණේ ජේසුතුමා ස්වර්ගයට යන විට සොරුන් සත් දෙනා අපායට ගිය බව ය. දැන්, ලොව පුරා කතෝලිකයන් පුරා සහශ්රක දෙක් විශ්වාස කළේ නොපවතින නිරයක් ගැනද?
අති උතුම් පාප්වහන්සේ, තමන් වහන්සේ නියම දේව පුත්‍රයෙක් බව පෙන්වා දී තිබෙන්නේ වරක් දෙවරක් නොවේ. 2013 ජූලි මාසයේ බ්‍රසීලයේ සිට ආපසු පැමිණෙන ගමනකදී උන් වහන්සේගෙන් මාධ්‍යවේදීන් ඇසුවේ සමලිංගික පුරුෂයන්ට දෙවියන් වහන්සේ සමාව දෙනු ඇතිද යන්නයි. එයට උන්වහන්සේගේ පිළිතුර මෙසේ විය. “මම කවුද ඔවුන්ව විනිශ්චය කරන්න…?”
මේ පාප්වහන්සේට සාපේක්ෂව අපේ ඊනියා බුද්ධ පුත්‍රයන්ගේ හැසිරීම කෙබඳුද..? උන්වහන්සේලා සමාජයේ සිටින මෙවැනි ආන්තික කොටස් එළව එළවා විනිශ්චය කරන අන්දම පසුගිය දිනවල අපි හොඳහැටි දුටුවෙමු. මහත් ආන්දෝලනයට තුඩු දුන් පහත වීඩියෝවේ දැක්වෙන මහනායක හිමිනමට ‘සමබව’ යන්න ‘සමලිංගික බව’ම වේ. අනේ අපි මේ ‘පන්සලේ සෙල්ලම’ ගැන මතක් කරනවා හෙම නොවේ. නමුත් හැකි නම් හාන්දුරුවනේ, බුදුන් දෙසූ දහම සහ පිටකොන්ද ගැන පාප්වහන්සේගෙන්වත් ඉගෙන ගන්න.
– ක්‍රිෂාන්ති රාජපක්ෂ
The post ”අපායක් නෑ..මැරුණට පස්සේ ආත්මයන්ට වෙන දේ” ගැන පාප්වහන්සේ කිව්ව දේ..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments