Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රට හදන නියම තැන ගමේ පන්සලේ බණ මඩුවයි

Author(s): 
කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර

මිනිසා හදන තැන ගම හදන තැන රට හදන තැන ගමේ පන්සලේ ධර්ම ශාලාවයි. එනිසා ධර්ම ශාලාව ඉතාම වැදගත් තැනක්. නමුත් අද අප රට හදන තැන කියා කියන්නේ වෙනත් තැනකට යැයි බම්බලපිටිය වජිරාරාමාධිපති අමරපුර ධර්මරක්ඛිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමියෝ පසුගිය 22 වැනිදා පැවසූහ.

පිළියන්දල හැඩිගම ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති නාකියදෙණියේ පේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ධර්මශාලා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයේදී උන්වහන්සේ එසේ පැවසූහ.

අභිනව ධර්ම ශාලා මන්දිරය බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ සුරතින් විවෘත කරන ලදි.

එහිදී වැඩිදුරටත් අනුශාසනාව කළ ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමියෝ මෙසේද පැවසූහ.

හැඬිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන ඉතාම සම්භාවනීය විහාරස්ථානයක්. ඒවාගේම ඓතිහාසික විහාරස්ථානයක්.

මේ විහාරස්ථානයෙහි වර්තමාන අවදියෙහි ඒ පැරැණි යටගියාව වර්තමානයට ගෙන ඒම සඳහාත් ඒ අගය වඩ වඩාත් වැඩිකිරීම සඳහාත් විහාරාධිපති නාකියාදෙණියේ පේමරතන නායක ස්ථවිරයාණන් වහන්සේ දරන උත්සාහය මහා සංඝරත්නය ඇතුළු සෑම දෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වෙනවා.

මිනිසා හදන තැන - ගම හදන තැන - රට හදන තැන ගමේ පන්සලේ ධර්මශාලාවයි. එනිසා ධර්ම ශාලාව කියා කියන්නේ ඉතාම වැදගත් තැනක්. නමුත් අද අප රට හදන තැන කියන්නේ වෙනත් තැනකටයි. රට හදන නියම තැන ගමේ පන්සලේ බණ මඩුවයි.

අද මාධ්‍යවලින් රට හදන තැන වෙනත් තැනකට පැවරීම නිසා තමා අපේ මේ අවගමනය සිදුවේගෙන යන්නේ. රටේ ජනතාව හදන එක මිනිසාගේ මනස හදන එක සිදුවන්නේ ධර්ම ශාලාවෙන්. එනිසා ඒ ධර්මශාලාවේ ඒ උරුමය ඒ වගකීම පවත්වාගෙන යාම මහා සංඝරත්නයේ යුතුකමක්. පේමරතන නායක ස්ථවිරයන් වහන්සේ ඒ වගකීම හොඳ හැටි අවබෝධ කරගෙන බණ මඩුවේ සුවඳ පළුදු නොවන ආකාරයට පවත්වාගෙන යාම ඉතාම වැදගත්. අද මෙම ආගමික උත්සවයට මේ පළාතේ විශාල පිරිසක් සහභාගිවී සිටින්නේද ඒ නිසයි.

ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහානායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියෝ,

උතුම් පරිසරයක පිහිටි මේ අංගසම්පූර්ණ හැඩිගම ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ අභිනව දෙමහල් ධර්මශාලා මන්දිරය දකින ඕනෑම අයකුගේ සිත තුළ පැහැදීමක් ඇති වෙන බව කිව යුතුයි.

අපගේ තථාගතයාණන් වහන්සේගේ ශාසනය පවතින්නේ ධර්ම ප්‍රචාරය කිරීම තුළින්. අද ධර්ම ප්‍රචාරය කිරීම සඳහා අපගේ ගරුතර භික්ෂුන් වහන්සේලා රට රාජ්‍යවල පවා යමින් විශාල සේවාවක් සිද්ධ කරනවා.

විහාරාධිපති පේමරතන ස්ථවිරයන් වහන්සේ ශාසනාරක්ෂක මණ්ඩලය ඇතුළු විවිධ සංවිධාන හරහා සිදුකරගෙන යනු ලබන සේවය තව තවත් ඔපවත් කිරීමේ ලකුණු මේ අභිනව ධර්ම ශාලාව තුළින් අපට පැහැදිලිව පෙනෙනවා.

ගල්කිස්ස බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක දිවියාගහ යසස්සි නාහිමියෝ -

මේ ධර්ම ශාලාව විවෘත කිරීමේ මහා පින්කමට සහභාගිවීමට ලැබීම ගැන අප අපමණ සතුටට පත්වෙනවා. මේ ධර්මශාලාව ශ්‍රද්ධාව, භක්තිය, ප්‍රඥාව වර්ධනය කරන පින්බිමක් බවට පත්වෙනවා.

මේ විහාරස්ථානයේ විහාරාධිපතිත්වය හොබවන ඒවාගේම පිළියන්දල ජාතික පාසලේ සහකාර විදුහල්පතිත්වය දරමින් කටයුතු කළ ශාස්ත්‍රපති නාකියාදෙණියේ පේමරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨයි. ඒවාගේම උපතින්ම වාසනාවන්තයි.

පන්සල්වල මේ වාගේ ධර්මශාලා ඉදිකිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි. පන්සලක ධර්ම ශාලාවක් ගොඩනගනවා යැයි කියන්නේ හිරගෙදරක් වසා දමන තත්ත්වයට පත්කිරීමේ සේවාවක්. එනිසා විහාරාධිපති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා ලබාගෙන මේ ධර්මශාලාව ගොඩනගපු පින්වතුන් බොහොම සතුටට පත්විය යුතුයි.

විහාරාධිපති ශාස්ත්‍රපති නාකියදෙණියේ පේමරතන හිමියෝ පුණ්‍යෝත්සව සභාවේ පිළිගැනීමේ අනුශාසනාව සිදුකරමින් මෙසේ පැවසූහ.

මෙම ධර්මශාලාව සඳහා මුල්ගල තැබූයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙනි. මේ ධර්ම ශාලාව කවදා හෝ විවෘත කරන්නේ මහානායක අනුනායක හිමිපාණන් වහන්සේ නමකගේ හෝ ධර්ම දේශනා කරන ධර්මය ව්‍යාප්ත කරන දහම් පොත පත ලියන අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමකගේ ප්‍රධානත්වයෙන් කියා එදා එම මුල්ගල තැබීමෙන් පසුව කල්පනා කළා.

මේ අවස්ථාවට ලංකාවේ ප්‍රධාන පුරවැසියා සහභාගිකරවා ගැනීමට අපට හැකියාව තිබුණා. ඒවාගේම දෙවන පෙළේ පුරවැසියාව සහභාගි කරවා ගැනීමට අපට හැකියාව තිබුණා. නමුත් ඒ සියල්ලටම වඩා අපගේ මහානායක හිමිනමක් මේ අවස්ථාවට වැඩම කරවා ගැනීම අපට මහත් ආශිර්වාදයක්.

මේ දෙමහල් ධර්ම ශාලාව ඉදිකිරීම සඳහා විශාල මුදලක් වැයවුණා. නමුත් අපි මුදල් සොයා ගැනීම සඳහා ආධාරපත්‍ර මුද්‍රණය කළේ නැහැ. වෙන්දේසි තැබුවේ නැහැ. මල්වට්ටි අලෙවි කළේ නැහැ. අටවිසි බුද්ධ පූජා පැවැත්වූයේ නැහැ. අප මේ ධර්මශාලාව ඉදිකරනු ලැබුවේ සතරපේරුවේ දායක දායිකාවන්ගේ උදව් උපකාරයෙන්. ඒවාගේම අපට කවදත් උපකාර කරන ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙන්. මා අ‍ෙප් මහානායක අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේලාගේ මූලිකත්වයෙන් මේ ධර්ම ශාලාව විවෘත කිරීමට තීරණය කළේ ඒ නිසයි.

ආචාර්ය බෙල්ලන්විල ‍ධම්මරතන නාහිමි, විද්‍යෝදය පරිවේනාධිපති බලංගොඩ සෝභිත නාහිමි, සිතුල්පව්ව රාජමහා විහාරාධිපති මැටරඹ හේමරතන, පිඹුරේ උදිත නාහිමි මෙහිදි අනුශාසනා පැවැත්වූහ. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති ගාමිණි ලොකුගේ මහතාද අදහස් දැක්වීය.

ගොම්බද්දල දමිත හිමියන් පුණ්‍යෝත්සව සභාවේ කටයුතු මෙහෙය වූ අතර විහාරස්ථ දායක සභාවේ ලේකම් නිමල් කරුණාසිරි මහතා ස්තුති කතාව පවත්වන ලදී.

අඹේවෙල පඤ්ඤසාර මහානායක හිමියන් ඇතුළු මහානායක අනුනායක හිමිවරුන් විහාරාධිපති හිමිවරුන්, වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, නීතිඥවරුන්, දේශපාලනඥයින්, ව්‍යාපාරිකයන් සතරපේරුවේ දායක දායිකාවන් ඇතුළු විශාල පිරිසක් මේ පුණ්‍යෝත්සවයට සහභාගි වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();