Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එංගලන්තයේ දෙවැනි ඩයනා

Author(s): 
ෆවුස් මොහොමඩ්

පොදු ජනතාවගේ කුමරිය, එසේ නොමැතිනම් එංගලන්තයේ රෝස කුසුම නමින් කොයි කාගෙත් ආදරය දිනා සිටි ඩයනා කුමරිය ජීවිතයෙන් සමුගෙන දශක දෙකක් ඉක්මවා ගියත් අදටත් ලොව පුරා ඇයට ඇති ආදරයේ අඩුවක් නොමැත. හෙට අනිද්දා එංගලන්ත රජ පවුලේ අලුත්ම සාමාජිකාව බවට පත්වීමට නියමිත අමෙරිකානු කළු කෙල්ල මීගන් මර්කල් ගැන කාගෙත් අවධානයත්, උනන්දුවත් වැඩි වෙද්දී ඩයනා කුමරිය සිහිපත් වන්නටත් කාරණාවක් තිබිණි.

ඒ අන් කිසිවක් නිසා හෝ නොව මීගන්ගේ එකම අරමුණ එංගලන්ත රජ පවුලේ මීළඟ ඩයනා කුමරිය වීමේ සිහිනය නිසාවෙනි. ඩයනා කුමරියට වඩාත්ම සමීපව සිටි සහ ඇයට වඩාත්ම ආදරය කළ හැරී කුමරුන් හා අතිනත ගෙන රජ පවුලට එක්වීමේ නොතිත් ආසාවෙන් පසුවන මේ අමෙරිකානු ගැහැනිය දැන් දැන් ඩයනා කුමරියගේ මතකය අවුස්සන්නට පටන් ගෙන තිබේ.

වසර 1992 දී ‘ඩයනාගේ සැබෑ කතාව ඇගේම වදනින්‘ නමින් කෘතියක් පළ කරමින් ලොව පුරා අසීමිත ජනප්‍රියත්වයක් ලැබූ ඇන්ඩෘ මෝර්ටන් නමැති ලේඛකයා දැන් මීගන් ගැන ලියන්නට පටන් ගෙනය. මේ 36 හැවිරිදි අමෙරිකානු නිළිය ගැන නිල නොලත් කෘතියක් ලියමින් ඔහු කියන්නේ ඇය හැරී කුමරු සමග පෙමින් වෙලෙන්නටත් පෙර ඩයනා මෙන් හැසිරෙන්නටත්, මෝස්තරකාරියක් ලෙස ප්‍රකට ඩයනා මෙන් ඇඳුම් ආයිත්තම් ගැන උනන්දුවන්නටත් පටන් ගත් බවකි.

මේ ලේඛකයා මෙතෙක් මීගන් සමග සංවාදයක නිරත නොවූවත් ඇගේ සමීපතම යෙහෙළියක සමග කළ සාකච්ඡාවක් ඇසුරින් ඒ කෘතිය ලියා පළ කර තිබේ. මේ මිතුරිය කියන ආකාරයට වසර 1997දී සිය මිතුරියන් හා එක්ව ඩයනා කුමරියගේ අවමංගල උත්සවය රූපවාහිනියෙන් නැරැඹූ මීගන් ඇය අධ්‍යාපනය ලැබූ ලොස් ඇන්ජලිස් නුවර උසස් විදුහලේ මිතුරියන් ඉදිරියේ ඩයනා කුමරිය අනුකරණය කරන්නට පටන් ගෙන තිබේ.

මීගන් මෙන්ම එංගලන්තයේ රාජකීය පවුල ගැන මහත් උනන්දුවක් දැක්වූ ඇගේ සමීපතම මිතුරියක වූ සුසී ආර්ඩකනී කියා ඇත්තේ ඔවුන් ඩයනා කුමරිය හා චාල්ස් කුමරුගේ 1981 වසරේ සිදුවූ රාජකීය විවාහය ඇතුළත් වීඩියෝව වරින් වර නරඹමින් ඩයනා කුමරිය ගැන මතකය අලුත් කරගත් බවය.

මෝස්තර නිර්මාණයේ පුරෝගාමී චරිතයක් ලෙස මීගන් විසින් ඩයනා කුමරිය හඳුන්වනු ලැබූ බවත්, මේ ආදරණීය කුමරිය නිසාම කුඩා වියේ සිටම ඇය මෝස්තරවලට දැඩි ලෙස ඇළුම් කරන්නටත් පටන්ගත් බව ඇගේ මිතුරිය කියන්නීය.

මීගන්ට ඩයනා ගැන ඇති උනන්දුව සහ ආදරය දැනගත් ඇගේ මිතුරිය සුසීගේ මව වන සෝනියා වරක් ඩයනාගේ ජීවිත කතාව ඇතුළත් කෘතියක් ද ඇයට තෑගි කළ බව සුසී පැවැසීය.

හැරීගේ ජිවිතයේ මෙන්ම මීගන්ගේ ජීවිතයෙත් කුඩා විය ගෙවී ගියේ හැලහැප්පීම් රැසක් මැදය. ඔවුන් දෙදෙනාගෙම මාපියන් දික්කසාද වූයේ ඔවුන් කුඩා වියේදීමය. මීගන්ගේ මාපියන් වන තෝමස් මර්කල් සහ ඩෝරියා රැග්ලන්ඩ් දික්කසාද වෙද්දී මීගන්ට අවුරුදු දෙකකි. ඩයනා මෙන්ම කුඩා දරුවන්ටත්, සුරතල් සතුන්ටත් දැඩි ලෙස ආදරය කරන මීගන් අමෙරිකානු ගැහැනුන්ටම ආවේනික ගති ලක්ෂණ රැසකින් යුතු අපූරු ගැහැනියකි. ‘අමෙරිකානු ගැහැනුන් ඔවුන්ගේ සැමියන් වෙනස් කිරීමට උපන් හපන්කම් දක්වති. හැම අතින්ම ඔවුන් තමන්ගේ සැමියා ඇද බැඳ තබාගැනීමට සමත්වෙති. ඩයනාට නොතිබුණේ ඒ ටික පමණි. අමෙරිකානු ගැහැනුන් ඇඳුමෙන් ද, පෞද්ගලික ගති පැවැතුම්වලින් ද එංගලන්ත ගැහැනුන්ට වඩා වෙනස් වෙති.‘ එසේ කියන්නේ මීගන් ගැන කෘතිය ලියූ මෝර්ටන්ය.

මීගන් දරුවන් ගැනත්, සතුන් ගැනත් වැඩි උනන්දුවක් දක්වන්නට වූයේ හැරී කුමරුන් හා පෙමින් බැඳීමටත් පෙර සිටමය. රුවන්ඩාවේ සහ කැනඩාවේ සුබසාධන වැඩසටහන්වලට සහභාගි වූ අවස්ථාවලදී ඇය ඩයනා කුමරිය මෙන්ම දරුවන් ඉදිරියේ දණ නමාගෙන ඔවුන් හා කතා බහ කළ අයුරුත්, ඔවුන් සමග එකට සිට ඡායාරූපවලට පෙනී සිටි අයුරුත් ඊට කදිම නිදසුන්ය. හැම අතින්ම සංවේදී ගැහැනියක වන මීගන් එංගලන්තයේ මීළඟ ඩයනා කුමරිය බවට පත්වනු ඇතැයි බොහෝ විචාරකයන් කියන්නේ මීගන්ට එවැනි ආසාවක් තිබෙන නිසා පමණක්ම නොවේ. ඩයනා තරම් පොදු ජනතාවට සමීපව සිටි රාජකීය කුමරියක් එංගලන්ත රජපවුලේ ඉතිහාසයේවත් සිටියේ නැතැයි ඇය ගැනත්, මීගන් ගැනත් වෙනම කෘති ලියා පළ කළ ඇන්ඩෘ මෝර්ටන් කියයි. ‘දෙන්නටම පොදු ගති පැවැතුම් රැසක් තිබෙනවා. ඩයනා කුමරියගේ වැඩිමල් පුත්‍රයා වන විලියම් කුමරු විවාහ වූ මොහොතේ කවුරුත් ඇය ඩයනා කුමරියට සමාන කළත් පසුකාලිනව එය එහෙම පිටින්ම වෙනස් විය. දැන් කවුරුත් දන්නා පරිදි කේට් කුමරිය හැම අතින්ම සමාන වන්නේ එලිසබෙත් මහ රැජනටය.

එබැවින් එංගලන්තයේ මීළඟ රෝස කුසුම බවට පත්වීමට හැම අතින්ම සුදුසුකම් ඇත්තේ මීගන්ට බව ඔහු සිය කෘතිය මගින් කියා සිටියි.පෙනෙන ආකාරයට සිය මවගේ අකල් වියෝව නිසා දශක දෙකක කාලයක් තිස්සේ දැඩි කම්පනයෙන් යුතුව කල් ගත කළ හැරී කුමරුට ඒ අඩුව පිරිමසා ගැනීමට දැන් පෙම්වතියක් ලැබි තිබේ. ඇය සිය මවට හැම අතින්ම සමානය.

ඩයනා කුමරිය ජීවිතයෙන් සමුගත්තේ 36 හැවිරිදි වියේ පසුවෙද්දීය. හැරී කුමරුගේ ජීවිතයේ පංගුකාරිය බවට පත්වීමට නියමිත මීගන්ටත් දැන් අවුරුදු 36කි.

‘ඇය ජීවිතයෙන් සමුගත්තාට පස්සේ මගේ ජීවිතයේ ලොකු හිස්තැනක් ඇතිවුණා. මටත්, මගේ අයියා විලියම්ටත් විතරක් නෙවෙයි ඒ අඩුව ලොව පුරා ජීවත්වෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවටත් දැනුණු බව සහතිකයි. ‘ සිය මවගේ වියෝව සිහිපත් කරමින් වරක් හැරී කුමරු එසේ පැවැසුවේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය.

තම මව මෙන්ම දරුවන්ට වැඩි ඇල්මක් දක්වන බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ මේ තරුණ කුමාරයාට මවට මෙන්ම දරුවන් කෙරෙහි දැඩි ලෙන්ගතු කමක් ද තිබිණි. ඩයනා කුමරියගේ එකම ආසාව වී තිබුණේ දරුවන් ගොඩක් හදා ගැනීමටය.

‘අම්මා වාගෙම මටත් දරුවෝ ගොඩක් ඉන්නවානම් ආසයි.‘ හැරී කුමරු එසේ ද කියා තිබිණි. එහෙත් දැන් ඒ පිළිබඳ වදවෙන්නට අවශ්‍ය නැත. මීගන් ඒ අඩුව හොඳින්ම සපුරාලනු ඇත.

මීගන්ට අවශ්‍ය වී ඇත්තේ ද හැරී කුමරුගේ විජිතයේ සිහින කුමරිය වන්නට නොව ඔහුගේ ජීවිතයේ මවගෙන් හිස්වූ අඩුව පුරවාලීමටය.

‘මම දන්නවා මගේ ජීවිතයේ තවමත් අම්මගේ හෙවණැල්ල වැටිලා තියෙන බව. එයා කොහේ ඉඳලා හරි මා දිහා බලාගෙන ඉන්නවා කියලත්, මට ආශිර්වාද කරනවා කියලත් මට දැනෙනවා. ඒ වගේ දේවල් මගේ හිතට විශේෂයෙන් විදේශ සංචාරවලදී තදින්ම දැනෙනවා.’ හැරී කුමරු වරක් එසේ කීවේ හැඟීම්බර විලාසයකිනි.

හැරී කුමරුගේ ජිවිතයටත්, එංගලන්ත රජ පවුලටත් ඩයනාගේ මතකය නැවත අලුත් කරවන ගැහැනියක් එක්වන්නේ ලබන මැයි මස 19 වැනිදාටය. එදින ජයටම මඟුල් කෑමට මුළු එංගලන්තයම බලා සිටී. එදිනට ඩයනා නැවතත් ජීවමාන වනු ඇතැයි මීගන් ගැන කෘතිය ලියූ මෝර්ටන් කියයි.

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();