Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොදු රද මඬුලු ක්‍රීඩා සමාරම්භය අදයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා ඇමැති මහා සමුළුවේදී උතුරු-නැඟෙනහිර පිළිබඳ කතිකාවක්

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සමාරම්භය ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් හී ගෝල්ඩ් කොස්ට් නගරයේ කැරාරා ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. මෙය විචිත්‍රවත් සමාරම්භක උළෙලක් බව දැනටමත් ඉඟි පළවී ඇති හෙයින් සියලු ප්‍රවේශපත් අලෙවී ඇතැයි සංවිධායකයෝ පවසති. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එංගලන්තයේ මහ රැජන නියෝජනය කරමින් ඔටුන්න හිමි චාල්ස් කුමරු හා ආර්යා කැමිලා පාකර් මහත්මිය සහභාගී වේ. සමාරම්භක උළෙල පස්වරු 7ට ආරම්භවන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 පමණ වේ.

ක්වීන්ස්ලන්ත වෙරළ තීරය දෙසින් හමා එන බවට අනාවැකි පළවී ඇති නිවර්තන සුළි කුණාටුව, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ඉතා මිත්‍රශීලී ලෙස ගෝල්ඩ් කෝස්ට් නගරයෙන් ඈතට යන බව ක්වීන්ස්ලන්ත කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කිරීමත් සමග මෙතෙක් තිබූ බිය පහව ගොස් ඇත. එහෙත් ගෝල්ඩ් කොස්ට් නගරය ආසන්නයේ මඳ වැසි සහිත තෙත් කාලගුණික තත්ත්වයක් දැන් පවතින හෙයින් ක්‍රීඩා උළෙලේ සමාරම්භයට සුලු අවහිරතා වනු ඇතැයි බොහෝ දෙනකු කණසල්ල පළ කරමින් සිටිති.

චැනල් 9 රූපවාහිනී සේවයට තහනමක්

සැලසුම් කළ පරිදි අති නවීන තාක්ෂණික මෙවලම් සහිත සමාරම්භක උළෙලේ ප්‍රාසාංගික අත්දැකීම ලොව පුරා බිලියන ගණන් ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමට පියවර ගෙන ඇත. එසේ වුවද, ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම චැනල් 9 රූපවාහිනී සේවයට සමාරම්භක උළෙල ආවරණය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඊයේ තීරණය විය. එයට හේතුවී ඇත්තේ මාධ්‍ය සදාචාරය උල්ලංඝණය කරමින් සමාරම්භක උළෙලේ පෙරහුරු සංදර්ශනය රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමේ වරදට දඬුවමක් ලෙසය.

“ක්‍රීඩා උළෙල සමාරම්භයේ තිබූ රහස්, කලින්ම චැනල් 9 රූපවාහිනී හෙළි කළා. වැදගත් අත්දැකීමක සැබෑ මොහොත නිසි වෙලාවට නිරාවරණය විය යුතුයි. ඔවුන් ප්‍රවෘත්ති මාධ්‍ය තුළ ඇති සදාචාරය බිඳ දැමුවා” ක්‍රීඩා උළෙලේ සංවිධාන කමිටු සභාපති පීටර් බෙටී මහතා පැවැසීය. සමාරම්භක උළෙලේ ඡායාරූප හා විඩීයෝ දර්ශන සාමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීමද තහනම් කිරීමට ඊයේ තීරණය කොට තිබුණි. ක්‍රීඩා උළෙලට සම්බන්ධ ස්වේච්ඡා සේවකයන්ට හා නිලධාරීන්ට ජංගම දුරකතන ඔස්සේ දර්ශන ලබාගෙන අන්තර්ජාලයට මුදා නොහරින ලෙස අවවාද නිකුත් කිරීමටද පියවර ගෙන ඇත.

මහ සමුලුවේ ජාතික ප්‍රතිපත්ති

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඇමැතිවරුන්ගේ මහා සමුලුව ඊයේ දිනයේ ගොල්ඩ් කොස්ට් ෂැරොටන් හෝටලයේදී පැවැති අතර රටවල් 71ක ක්‍රීඩා ඇමැතිවරුන් අතරට නීතීඥ දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටියේය. 2030දී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ක්‍රීඩාව ඉහළට එසැවීම සදහා මූලික සැලසුම් මේ මහා සමුලුවේදී සැකසුණි. ක්‍රීඩාව තුළින් සෞඛ්‍යය, අධ්‍යාපනය, සමානාත්මතාව හා යහ පාලනය ඇති කිරීම අරමුණු කොට මේ සමුලුව පැවැත්වූ බව ක්‍රීඩා ඇමැති නීතීඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

“ජාතික ක්‍රීඩා ප්‍රතිපත්ති සංවර්ධනය හා සැලසුම්කරණය වගේම ඒවා ක්‍රියාත්මක කරන ආකාරය අප මෙහිදී සාකච්ඡා කළා. ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීමේ වටිනාකම පිළිබඳ අවධානය යොමු කළා. මේ සමුලුවේ මූලික අරමුණක් වන්නේ සාමාජික රටවල් අතර සබඳතා වර්ධනය කර ගැනීමයි. ඒ තුළින් මානව හිමිකම් වර්ධනය කිරීම හා ක්‍රීඩාව තුළින් සබඳතා වර්ධනය කර ගැනීමේ අවස්ථා වැඩි දියුණු කිරීම තවත් අරමුණක් වෙනවා. ශ්‍රී ලංකාවට මේ සමුලුව ඉතා වැදගත් වුණා” ඇමැතිවරයා පැවැසීය.

දශක ගණනාවක ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව සාමය උදාවී ඇති උතුරු-නැඟෙනහිර ප්‍රදේශවල ක්‍රීඩාව යළි නගා සිටුවීමට රජය කඩිනම් අවධානය යොමුකර ඇති හෙයින් එළැඹෙන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකදී එම ප්‍රදේශවල දරුවන්ට ජාත්‍යන්තර ක්‍රීඩා තලයේ දොරටු විවරවන බව ක්‍රීඩා ඇමැති නීතීඥ දයාසිරි ජයසේකර මහතා මහා සමුලුවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ ලේකම් පැට්‍රිකා ස්කොට්ලන්ඩ් මහත්මිය වෙත දැනුම් දුන්නේය. ඒ පිළිබඳ ස්කොට්ලන්ඩ් මහත්මිය ක්‍රීඩා ඇමැතිවරයා වෙත සිය සතුට පළ කිරීමට අමතක නොකළාය.

ඉදිරියේ පැවැත්වෙන ඉන්දුනීසියානු ආසියානු ක්‍රීඩා උළෙලේදී උතුරු-නැඟෙනහිර පළාත්වලින් දක්ෂතම දරුවන් කිහිප දෙනකුට අවස්ථාව සැලසීම සඳහා අවශ්‍ය කටයුතු යොදන ලෙස එම අවස්ථාවට එක්ව සිටි ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා වෙත ක්‍රීඩා ඇමැතිවරයා දැනුම් දීමක් ද කළේය.

“මේ ක්‍රීඩා උළෙලේදී ජාතික ඔලිම්පික් කමිටුව විශාල කාර්යභාරයක් ඉටු කළා. ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව වැය කළ මුදලින් අඩක් පමණ ඔලිම්පික් කමිටුව දැරුවා. ඒ නිසා නැගී එන දරුවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට ලැබීම සතුටක්. දැන් අපි උතුරු-නැඟෙනහිර දරුවන් ජාත්‍යන්තර තලයේ ඉදිරියට ගැනීමට වැඩ පිළිවෙළක් යොදනවා. ක්‍රීඩාව තුළින් සැබෑ සහජීවනය සෙවීම අපේ වගකීමක්” ඇමැතිවරයා ‘දිනමිණ’ ට පැවැසීය.

ක්‍රීඩා උළෙලේ තරග ඉසව් හෙට සිට ආරම්භවීමට නියමිතයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();