Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෙර යුග අබිසෙස් ලද පින්බිම වෙසක් සිරියෙන් නැහැවෙයි මෙවරද

දැදුරු ඔය නිම්නයේ ජනාවාස අතර ප්‍රචලිත වූ රත්නවැලිමන්ගොඩැල්ල යන ප්‍රදේශය දක්ෂිණ දේශය යටතේ පරිපාලන කටයුතු සිදු වූ ප්‍රදේශයක් වන අතර ක්‍රි.පූ.03 වැනි සියවස තරම් වූ ඈත යුගයක කාර්යබහුල වෙළෙඳ කලාපයක් වූ සලාපුර මානුවන්තොට වරායක් හා ඒ හා සම්බන්ධ අවට ගම්මානවල ප්‍රබල ජනාවාස තිබූ බව සඳහන් වේ

ඓතිහාසික බිංගිරිය ශ්‍රී දේවගිරි රජමහා විහාරස්ථානය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැදුරු ඔය නිම්නයේ අක්කර දහයක පමණ වපසරියෙන් යුත් රමණීය ප්‍රදේශයක පිහිටි බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ පූජනීය ස්ථානයකි.

දැදුරු ඔය නිම්නයේ ජනාවාස අතර ප්‍රචලිත වූ රත්නවැලිමන්ගොඩැල්ල යන ප්‍රදේශය දක්ෂිණ දේශය යටතේ පරිපාලන කටයුතු සිදු වූ ප්‍රදේශයක් වන අතර, ක්‍රි.පූ.03 වැනි සියවස තරම් වූ ඈත යුගයක කාර්යබහුල වෙළෙඳ කලාපයක් වූ සලාපුර මානුවන්තොට වරායක් හා ඒ හා සම්බන්ධ අවට ගම්මානවල ප්‍රබල ජනාවාස තිබූ බව සඳහන් වේ. තැනිතලා භූමියකට අයත් මුහුදු මට්ටමෙන් උස් වූ භූමියක් වූ මේ වැලිමන්ගොඩැල්ල ආශ්‍රිතව අතීතයේ භාණ්ඩ හුවමාරුව සඳහා ආර්ථික මධ්‍යස්ථානයක් තිබී ඇත. ඒ ආශ්‍රිතව වෙළෙඳුන් ඇතුළු ප්‍රභූවරුන් නවාතැන් ගත් ආරක්ෂිතවූත්, රමණීයවූත් භූමි භාගයක් ලෙස මේ ප්‍රදේශය පරිහරණය කර ඇති බව පැවැසේ.

අතීතයේ එම වෙළෙඳ කණ්ඩායම් ඔවුන්ගේ ආරක්ෂාව සඳහාත්, ධාර්මිකත්වයත්, පින් සිදුකර ගැනීම සඳහාත්, දෙවියන්ගේ රැකවරණය ලබා ගැනීමත් අරමුණු කර ගනිමින් ස්වකීය උරුමයක් ලෙස බුදුරජාණන් වහන්සේගේ ධාතුන්වහන්සේලා රැගෙන යාමේ සිරිතක් තිබී ඇත. මේ වෙළෙඳුන් රත්නවැලිමන්ගොඩැල්ල නම් මේ භූමියෙහි කිරිහඬු රුක් සෙවණක තමා සතු පූජා භාණ්ඩ සහිත ධාතුන් වහන්සේලා තබා පුද පූජා තබා ඇත. දින කිහිපයක් අවට ගම්මානවල වෙළෙඳාම් සිදු කළ එම ප්‍රදේශයෙන් පිටත්වීම සඳහා සූදානම් වී පූජා භාණ්ඩ සහිත ධාතුන් වහන්සේලා තැම්පත් කර තිබූ කිරිහඬු රුක ළඟට ගිය විට ධාතුන් වහන්සේලා සහිත පූජා භාණ්ඩත්, එම කිරිහඬු රුකත් බිම ගිලී අතු කිහිපයක් රිදී ගසක් මෙන් බබළන බවක් දක්නට ලැබී ඇත. මේ ආශ්චර්ය ජනක සිද්ධියෙන් විස්මයට පත් ඔවුහු පළාතේ යුව රජු ලෙස කටයුතු කළ දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයකු වූ මහානාග යුව රජුට දැන්වීමෙන් පසු එතුමා විසින් එම කරුණු දේවානම්පියතිස්ස රජුට දන්වා එම පූජා සහිත ධාතුන් වහන්සේලා බිම ගිලුන ස්ථානයේ විශාල චෛත්‍යයක් ඉදිකරවන ලදි. ඉන් පසුව බුදු මැදුරු, සංඝාවාස ආදිය ඉදිකරවා නේවාසික භික්ෂූන්ගේ චෛත්‍ය නඩත්තුව සඳහා විශාල කෙත්වතු සහිත වූ සංවිධාන පාලන ක්‍රමයක් සහිතව මහා සංඝයාට පූජා කළේය. පූජා භාණ්ඩ සහිත ධාතූන් වහන්සේලා ගිලී ගිය මේ පූජනීය භූමිය බිම්ගිලිය ලෙස ව්‍යවහාරයට පත් විය. පසු කලෙක මේ බිම්ගිලිය යන නම බිංගිරිය බවට පත් විය. එතැන් පටන් බිංගිරිය වැලිමන්ගොඩැල්ල යනුවෙන් භාවිත වී ඇත. මේ විහාර සංකීර්ණය දෙවන පෑතිස් රජතුමා විසින් වැලිමන්ගොඩැල්ල නම් උස් භූමිය මුදුනෙහි (ගිරියෙහි) සෑදු හෙයින් දේවගිරි විහාරය යනුවෙන් ව්‍යවහාරයට පත්ව ඇත. තවත් ජනප්‍රවාදයකට අනුව දෙවියන්ගේ බලයෙන් ගිලින කඳු ශිඛරයක් හෙයින් දේව බලයක් ඇතැයි ද සලකා දේවගිරි යනුවෙන් හැදින් වූ බව ද කියවේ. කෙසේ වෙතත් මේ චෛත්‍ය කිරිහඩු සෑය, බිංගිලි සෑය, බිංගිරිය සෑය හා දේවගිරි සෑය නම් හතරෙන්ම හැඳින්වේ.

මේ විහාරස්ථානය පළමු අග්බෝ රජු යුගයෙහි (ක්‍රි.ව.563-597) ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇති බව මහා වංශයේ හැඳින්වේ. එසේම මේ විහාරය මහා විහාර පරම්පරාවෙන් පැවැත එන සංඝරක්ඛිත නම් වූ සුමනීන්ද්‍රයන් වහන්සේට අතපැන් වත්කර පූජා කර තිබේ. ක්‍රි.ව.1521 විජයබා කොල්ලයෙන් පසු යාපනයේ රජ කළ පරරාජසේකරම් නම් ද්‍රවිඩ රජුට අයත් සේනාව විසින් මේ ප්‍රදේශයට විශාල ව්‍යවසනයක් සිදු කර ඇති අතර, එහි දී මේ විහාරයේ තිබූ සියලුම ආරම්භ ගොඩනැඟිලි විනාශ කර ඇති බව සඳහන් වේ.

18 වැනි සියවසේ කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ දී මේ විහාරස්ථානයේ ටැම්පිට විහාරමාලිගාවක් ඉදිකර තිබේ. එය ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ටැම්පිට විහාරය වේ.

මේ දේවගිරි රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ලෙස සත්කෝරල මහා දිසාවේ ප්‍රධාන සංඝනායක බිංගිරිය ප්‍රාදේශීය සාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරන්දර මලගනේ අත්ථදස්සි නාහිමියන් කටයුතු කරයි.

අධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් දැමුණු සිත සුවගෙන දේ තේමාව යටතේ මෙවර පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය හෙට (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙහි දී වෙසක් සමරු මුද්දරයක් නිකුත් කිරීම හා සත්කෝරලයේ විහාරවංශය ඇතුළු ධර්ම ශාස්ත්‍රීය පොත් එළි දැක්වීමද සිදු කෙරේ. මෙදින උවැසි උවැසියන් 5000 සහභාගී වන ශීල ව්‍යාපාරයක් ද පැවැත්වේ.

හෙට (28) පස්වරු 7.00ට වෙසක් කලාපය විවෘත කිරීම කථානායක කරු ජයසූරිය හා ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩසටහන හා විශේෂ ධර්ම දේශනාවන් හා ධර්ම සාකච්ඡාවක්ද පැවැත්වේ.

වෙසක් සතිය තේමාවන් හතරක් යටතේ පැවැත්වෙන අතර, 26 දින තිරසර පරිසරයක් සඳහා බුදු දහම, අද (27) සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා බුදු දහම, 28 දින බුදු දහමින් පෝෂිත වූ සිංහල සාහිත්‍ය, 29 දින වෙසක් පෝ දින ආගමික වැඩසටහන්, 30 වැනිදා බුදු දහමින් පෝෂිත වූ හෙළ කලාව, මැයි 01 යහපත් වෘත්තීය ජීවිතයක් සඳහා බුදු දහම මැයි 02 දින සමාජ සංවර්ධන, ආර්ථිකය හා බුදුදහම යන තේමාවන් යටතේ පැවැත්වේ.

එදින රාත්‍රී පහන් වනතුරු සූවිසි විවරණය පැවැත්වේ. මේ වෙසක් සතිය තුළ භක්ති ගීත, බොදු ගී, වෙසක් පහන් කූඩු සංදර්ශන, අධ්‍යාපනික සංස්කෘතික පුරා විද්‍යාත්මක ප්‍රදර්ශන, බොදු සිතුවම් හා ඡායාරූප ප්‍රදර්ශන, බෞද්ධ නාට්‍ය හා ජාතක කතා තේමා කොටගත් වයඹට අවේණික ජන නාට්‍ය සංදර්ශන ද දන්සැල් ද පැවැත්වේ.

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ කුරුණෑගල දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ, බෞද්ධ උපදේශක සභාවේ අනුශාසන පරිදි ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදේශකත්වයෙන් බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා හා නියෝජ්‍ය ඇමැති සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මහත්වරුන්ගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ වෙසක් මහෝත්සවය පැවැත්වේ.

මේ ලිපිය සැකසීමේ දී බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ විහාරාධිකාරි පඩිවෙල සෝරත හිමියන් ලබා දුන් සහාය අගය කරමි.

බිංගිරිය මධ්‍යම සමූහ
ඒ. එම්. සරත් කුමාර

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();