වෙසක් පුන් පොහොය නිමිත්තෙන් ඉන්දියාවේ සාරානාත්හි සිට වැඩමකර වූ සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කිරීම හෙට (28) සිට ඇරැඹේ.
මහජන ප්‍රදර්ශනය සඳහා සාරානාත්හි පිහිටි සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කොට තිබෙන අතර එය එළඹෙන මැයි මස 3 දා තෙක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
ඉන්දියාවේ සිට මෙම ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරවන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඒ සඳහා ඉන්දියානු රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත. එම ධාතූන්වහන්සේලා ශ්‍රී ලාංකික සැඳැහැවතුන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී වන්දනාමාන කිරීම සඳහා පහසුකම් සලසා දී තිබේ.
සාරානාත් ධාතූන්වහන්සේලා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආධ්‍යාත්මීය බැඳීමක් ඇති කරවන දෙරටෙහි පොදු බෞද්ධ උරුමයේ තවත් සංකේතයක් බව පවසන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉන්දියාවේ සාරානාත්හි පිහිටි මූලගන්ධකුටි විහාරයේ සාරානාත් ධාතූන් තැන්පත් කර ඇත. බුදුරජාණන්වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනය සාරානාත්හි දේශනා කළ බැවින් සාරානාත් ඓතිහාසික වශයෙන් වැදගත් වෙයි. ඉන්දියාවේ මහා බෝධි සංගමයේ නිර්මාතෘ වන අනගාරික ධර්මපාලතුමා මූලගන්ධකුටි විහාරය ඉදිකිරීමේ හා සාරානාත් පෞඩත්වය යළි ගොඩනැංවීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ අතර ඉන්දීය රජය ඉන්දියාවේ මහා බෝධි සංගමය වෙත මෙම භූමිය සහ පූජනීය ධාතූන් පරිත්‍යාග කර ඇත. මෙම අති පූජනීය සහ සැබෑ සර්වඥ ධාතූන් වහන්සේලා විශේෂයෙන් සාදන ලද මංජුසාවක් තුළ තැන්පත් කර ඇති අතර විහාරයේ රිදී මංජුසාවක තැන්පත් කර ඇති පළමුවන ධාතුව පැරණි තක්ෂිලා නුවර ආසන්නයෙන් 1913-14 වර්ෂයේ දී සොයා ගන්නා ලද්දේ ශ්‍රීමත් ජෝන් මාර්ෂල් විසිනි.
ධර්මරාජික ස්ථූපය අසල පිහිටි කුඩා බෞද්ධ විහාරස්ථානයක දී ක්‍රිස්තු වර්ෂ 79 ට අයත් ශිලා ලේඛන සහිත රිදී ධාතු කරඬුවක් තුළ තැන්පත් කොට තිබිය දී මෙම ධාතුන් වහන්සේලා සොයා ගන්නා ලද බවට ඉතිහාසයේ සඳහන් වන අතර සාරානාත් හි තැන්පත් කර ඇති දෙවන ධාතුන් වහන්සේ එවකට මදුරාසි ලෙස හැඳින්වූ ජනපදයේ ගුන්තුර් දිස්ත්‍රික්කයේ නගර්ජුන්කොන්ද්හි පිහිටි විශාල ස්ථූපයක නිදන් කොට තිබිය දී 1929 වර්ෂයේ ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ.එච්. ලෝන්ග්හර්ස්ට් මහතා විසින් සොයා ගන්නා ලදී.
ධාතූන් සොයා ගන්නා ලද ස්ථූපය මහා චෙටියෝර් හෙවත් බුදු රජාණන් වහන්සේගේ ‘මහා ස්ථූපය’ ලෙස හැඳින්වෙන අතර ජනතා ප්‍රදර්ශනය සඳහා කොළඹට වැඩම කරවීමට මෙම ධාතූන් වහන්සේලා ලබාදීම පිළිබඳව ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය ඉන්දියාවේ මහා බෝධි සමාගමට සිය ස්තූතිය පුද කරයි. ශ්‍රී ලංකාවේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය මූලිකත්වය ගත් දෙවන අවස්ථාව මෙය වන අතර එවැනි අවස්ථාවක් ශ්‍රී ලාංකේය ජනතාවට උදාකර දුන් ප්‍රථම අවස්ථාව වන්නේ 2012 වර්ෂයේ දී කපිලවස්තු නුවර සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩමකර වූ අවස්ථාවයි.


0 Comments