ශ්‍රී ලංකාවට ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයින් නැති පාඩුව අද වඩාත් දැනෙන බව ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ මෙරට හිටපු කෘතහස්ත දේශපාලනඥයකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ විසිපස්වෙනි ගුණසමරු ප්‍රධාන දේශනයේ පවත්වමින්ය. මෙය ඊයේ (26) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මට ලලිත් ඇතුලත්මුදලි මහතා මුලින් හමුවූයේ 1986දී. ජාතික ආරක්ෂක ඇමැති ලෙස. එවිට මම මේජර් ජෙනරාල්වරයකු ලෙස කටයුතු කළා. එම අවස්ථාවේදී හමුදාවේ පුහුණුව ගැන, ත්‍රස්තවාදී මෙහෙයුම් කටයුතු, හමුදා නිලධාරීන්ගේ ගැටලු ගැන දිනයක් පුරා අපිත් සමඟ සිටිමින් එතුමා විශාල සාකච්ඡාවක් කළා. ඒ තමයි මුල් වතාවටත් අවසන් වතාවටත් ඇතුලත්මුදලි මහතා මට හමුවුණේ.
අද මම දේශපාලනඥයකු හැටියට දකින්නේ ඒ මහතා වර්තමාන දේශපාලන කරලියේ සිටිය යුතු නායකයෙක් ලෙසයි. එතුමා ජාතික ආරක්ෂක ඇමැති ලෙස විශාල සේවයක් කළා. ඇතුලත්මුදලි මහතාව ඝාතනය කළේ හමුදාව තවත් ශක්තිමත් කරයි යන මතය හා ජාතික ගැටලුවට සියලු දෙනා එකතුකරගෙන විසඳුමක් ලබාදීමට දරපු උත්සාහය නිසයි.
එතුමා සිදුකළ සියලු කතාවලදී හමුදාවේ කැපවීම ගැන නිරන්තරයෙන් පැවසූ අතර උතුරු, නැඟෙනහිර ප්‍රදේශවල යුද්ධයක් පවත්වාගෙන යන්නේ ඇයි කියලා ජනතාව දැනුවත් කරන්න කටයුතු කළා.
ඇතුලත්මුදලි මහතා හමුදාවේ ඉහළ පහළ සියලු නිලධාරින් සමඟ නිතර කතා කරමින් තොරතුරු ලබා ගත්තා. එහිදී හමුදාවේ ශක්තිය හා දුර්වලතා ගැන හොඳ අවබෝධයක් ලබාගත් ලලිත් ඇතුලත්මුදලි මහතා ඒවාට විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර ගත්තා. එම අවස්ථාවේදී ඇතුලත්මුදලි මහතාගේ කාර්යන් සපුරාලීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීම එවකට හිටපු මුදල් ඇමැති අතින් සිදුවූවේ සීමාසහිතවයි. එහෙත් සිය කාර්යභාරය නොපිරිහෙලා ඉටුකරන්න ඒ මහතා වගබලා ගත්තා.
මේ අවස්ථාවට ඇමැති රවි කරුණානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේසරලාල් ගුණසේකර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
ලලිත් ඇතුලත්මුදලි 25 වෙනි ගුණසැමරුම ඊයේ (26) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජැස්මින් රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. ඡායාරූපයේ දැක්වෙන්නේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත උදය මානවසිංහ, රංජිත් ඒ.පලියපිටිය සමඟ නන්දන කුමාරපේලි මහත්වරු විසින් සංස්කරණය කරන ලද “ලලිත් ඇතුලත්මුදලි රජිත සැමරුම්” කෘතිය නන්දන කුමාරපේලි මහතා විසින් පිළිගන්වනු ලබන අයුරු. මේ අවස්ථාවට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාද සහභාගි විය.
නුස්කා නෆීර්
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ


0 Comments