ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව ‘සිඳු රළ‘ නමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා(19) පස්වරුවේ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ පැවැති උත්සවයේදී අධිකාරියට පත්කරන ලදී.
මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අග්‍රාමාත්‍යවරයා වෙත මෙහිදී නාවික හමුදා විශේෂ සම්මාන මුරයක් මගින් ආචාරය පුද කෙරිණි. ඉන් අනතුරුව සම්මාන මුරය පිරික්සූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් සමන් කුලසිරි පෙරේරා මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්රදානය කරන ලදී. ඉන් අනතුරුව කපිතාන් සමන් පෙරේරා මහතා විසින් සන්නස් පත්‍රය උත්සව සභාව වෙත ප්‍රකාශයට පත් කරමින් සිය මාතෘ භූමියේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම උදෙසා තමන් වෙත පැවරී ඇති වගකීම නොපිරිහෙලා ඉටු කරන බවට ද ප්‍රතිඥා දෙන ලදී.
ඉන් පසුව සිඳුරළ නමින් අධිකාරියට පත් කරන ලද මෙම අධි තාක්ෂණික නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම මහා සංඝරත්නය ඇතුලු සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදය මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා සිදු කළ අතර
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුලු මෙම අවස්ථාවට සහභාගි වූ අමුත්තන් නෞකාවේ නවීන පහසුකම් සහ උපකරණ පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව අගමැතිවරයා ඇතුලු පිරිස දැනුවත් කරන ලදී.
නෞකාව නිරීක්ෂය කිරීමෙන් අනතුරුව නාවුක හමුදා සංස්කෘතික කණ්ඩායම ඉදිරිපත් කළ සංස්කෘතික සංදර්ශණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු කණ්ඩායම විසින් නරඹන ලද අතර ගොයම් කැපීම් නර්තනය, වෙස් නැටුම්, ලී කෙළි නැටුම්, උඩරට නැටුම්, කාවාඩි නැටුම්, නාවුක හමුදා තූර්යවාදක කණ්ඩායම ඉදිරිපත් කළ ගීතයන්ට විවිධ නර්තනාංගයන් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය. සංස්කෘතික සංදර්ශණය නැරඹීමෙන් පසු අගමැතිවරයා අමුත්තන්ගේ පොතේ අත්සන් තබන ලද අතර මෙහිදී නාවුක හමුදාපතිවරයා විසින් උපහාර තිළිණයක්අගමැතිවරයා වෙත පිරි නමන ලදී. අනතුරුව සිඳු රළ නෞකාවේ කාර්යය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද අගමැතිවරයා පෙනී සිටියහ.
සිඳුරළ නෞකාව නවීන තාක්ෂණයෙන් සහ විශේෂිත අංගෝපාංග රැසකින් ද සමන්විත වේ. එහි දිග මිටර් 105.7 ක් වන අතර, පළල මිටර් 13.6 කි. එමෙන්ම, නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයන් 100 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වන අතර, සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයක් ද මෙය සතුය.
මේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර , කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක , ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන , ආරක්ෂක ලේකම් නීතිඥ කපිල වෛද්‍යරත්න , ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න , නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති , නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා , ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහත්වරුන් විශ්‍රාමික නාවික හමුදාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ අමුත්තන් පිරිසක් ද සහභාගි වූහ. ඉන්දියාවේ සීමාසහිත ගෝවා නැව් තඨාකාංගණයට අනුයුක්ත නිලධාරිහු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප- හිරන්ත ගුණතිලක
0 Comments