බුද්ධ වර්ෂ 2562 රාජ්‍ය වෙසක් උත්සවය අධ්‍යාත්මික සංවර්ධනයට මුල් තැන දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 28, 29 දෙදින බිංගිරිය දේවගිරි පුරාණ රජමහා විහාරස්ථානයේ දී අති උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරෙන බව බුද්ධශාසන ඇමැති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
ඇමැතිවරයා මේ බැව් සඳහන් කළේ පෙරේදා (23) බිංගිරිය දේවගිරි පුරාණ රජමහා විහාරයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
"මෙවර වෙසක් උත්සවයේ තේමාව සංවර්ධනයේ තිරසාර අරමුණු ඔස්සේ ගමේ පන්සල අධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් බෝසත් සමාජයක් බිහි කිරීමයි. වෙසක් උත්සවයට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දහම් පාසල් 300ක් සහ විහාරස්ථාන 250ක් සංවර්ධනය කරනවා. මේ මස 28 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් විශේෂ වෙසක් සමරු මුද්දර තුනක් ද නිකුත් කරනවා.
අක්කර 948කින් සමන්විත වූ බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ දී පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සියලු වැඩ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතිනවා. මේ මස 28 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් දේවගිරි රජමහා විහාරයේ දාන ශාලාව විවෘත කරනවා. පහන් කූඩු, අධ්‍යාත්මික, සංස්කෘතික, පුරාවිද්‍යාත්මක ප්‍රදර්ශන මෙන්ම බොදු සිතුවම් හා ඡායාරූප ප්‍රදර්ශන, ජාතක කතා තේමා කර ගත් වයඹට ආවේණික වූ ජන නාට්‍ය ද සංවිධාන කර තිබෙනවා. මේ මස 29 වැනි දින කතානායක කරු ජයසූරිය මහතා වෙසක් කලාපය විවෘත කරනවා.
විශේෂ ධර්ම දේශනය මෙ මස 29 වැනි දින පෙ. ව. 8.00 සිට අලුයම දක්වා කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති උඩුදුම්බර කාශ්‍යප හිමියන් සිදු කරනවා. ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා, කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය, බුද්ධශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වයඹ පළාත් සභාව, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ශ්‍රී. බු. ව. 2562 රාජ්‍ය වෙසක් උත්සවයේ සියලු කටයුතු සංවිධාන කරනවා.
මෙයට අමතරව භක්ති ගීත, සෞඛ්‍ය හා බුදුදහම වැඩසටහන් 450ක් ද දිස්ත්‍රික්කය පුරා සංවිධාන කොට තිබෙනවා. ළමාරක්ෂක අධිකාරියෙන් ළමා ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද සංවිධාන කර තිබෙනවා."


0 Comments