ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතුවලට අදාළ තොරතුරු හා සාක්කි සටහන් කර ගැනීම ඉදිරි සති දෙක තුළදී ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති සන්ධානය සමග ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. ශ්‍රී ලන්කන් ගුවන් සේවාව පිළිබඳ අන්තර්ජාතිකව පවතින පිළිගැනිම ආරක්ෂා කර ගනිමින්,ගුණාත්මක ගුවන් සේවාවක් ලෙස එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදුන්නේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති 06 න් 05 ක් නියෝජනය කරමින් නියෝජිතයින් මේ හමුවට එක්ව සිටී අතර, සමාගමේ දැනට පවතින තත්ත්වය සහ මතුව ඇති ගැටලු
විසඳාගනිමින් සමාගමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ ඔවුන් දීර්ඝ වශයෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවාවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය වර්ධනය කරමින් මගීන්ට අභිරුචියකින් සහ ප්‍රබෝධයකින් යුතුව සිය ගමනාන්තය කරා ළගාවීමට හැකි පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කෙළේය.
එමෙන්ම පසුගිය කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට නව ජනාධිපති කොමිසමක් පත්කරමින් සමාගමේ කටයුතු ක්‍රමවත්ව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම පිළිබඳ මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින්ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පිරිනැමූහ.
ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේ, වෘත්තීය සමිති නියෝජිතයින්ඇතුළු සියලු පාර්ශ්වවල තොරතුරු ලබාගනිමින් සහ සියලුදෙනාගේ යෝජනා සැලකිල්ලට ගනිමින් රජයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට එම කොමිසම කඩිනමින් කටයුතු කරනු ඇති බවයි.
ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර යන මහත්වරුන් ද,ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජාතික ආර්ථික සභාවේ මහ ලේකම්මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂවරුන් මේ අවස්ථාවට එක්ව සිටියහ.


0 Comments