සේවයේ නියුතු ගුරුවරුන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු ලබා ගන්නා බැවින් එම කාලසීමාවේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසල්වල සේවය සඳහා ගුරුවරුන් යෙදවීමට කලාප මට්ටමින් ගුරු සංචිතය බැගින් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගයෙන් සමත් වූ 24 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සහ සුදුසුකම් සම්පූර්ණ කරන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 පන්තියේ නිලධාරීන් 263 දෙනකුට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස් කිරීමේ ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ඊයේ (23) පැවැති උත්සවයේදී ඇමැතිවරයා මේ බව සඳහන් කරයි.
මෙම අවස්ථාවට සහභාගී වූ විදුහල්පතිවරුන්ට තම ගැටලු හෝ අදහස් ඉදිරිපත් කිරීමට ද අමාත්‍යවරයා එහිදී අවස්ථාව ලබා දුන් අතර, පාසල් දරුවන් වෙනුවෙන් නොමිලේ නිල ඇදුම් ලබාගැනීම සදහා වවුචර් ක්‍රමය හඳුන්වා දීම එහිදී විදුහල්පතිවරුන්ගේ අගය කිරීමට ලක් විය. ඉදිරියේ දී සිසුන්ට ලබා දෙන නිල ඇඳුම් වවුචරයේ වටිනාකම වැඩි කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


0 Comments