ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පදවියෙන් ඉල්ලා අස්වන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ.
අඟහරුවාදා (අප්‍රේල් 03) පැවති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවෙන් අනතුරුව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ බව එම හමුවට එක්වූ අමාත්‍ය හරින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.
එයට ප්‍රතිචාර වශයෙන්, අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කළ යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ තීන්දුව යයි ඔවුන්ට දැනුම්දීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් කටයුතු කළ බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේය.
එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය එස්බී දිසානායක පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ ඒකමතික අදහස අගමැතිවරයාට දැනුම් දුන් බවය. අගමැතිවරයා ඉල්ලා අස් නොවුවහොත් ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වුවත් මීට දින කිහිපයකට ඉහතදී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ විශ්වාසභංග යෝජනාවට තමන් පුද්ගලිකව ‘තරයේ විරුද්ධ’ බවය.
ඒ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මත කිහිපයක්ම තිබෙන බව සඳුදා (අප්‍රේල් 02) එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පවසා තිබේ.
අඟහරුවාදා ජනාධිපති කාර්යාලයේ පැවති කැබිනට් සාකච්ඡාවට පෙර ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ අතර හමුවක් ජනාධිපතිවරයාගේ නිවසේ පැවති බවට මාධ්‍ය වාර්තා කළ අතර එහිදී සාකච්ඡා වූ කරුණු තවමත් හෙළිවී නැත.
ජනාධිපතිවරයා, අගමැතිවරයා හා එක්සත් ජාතික පෙරමුනේ අමාත්‍යවරුන් අතර සඳුදා පැවති හමුවේදී ද එකඟතාවක් ඇතිකර ගැනීමට දෙපාර්ශවයම අපොහොසත් විය.
බදාදා (අප්‍රේල් 04) පාර්ලිමේන්තුවේදී ආරම්භවන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැය 12 ක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව රාත්‍රී 9.30ට පමණ ජන්ද විමසීම සිදුකිරීමට නියමිතය.
යෝජනාව ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ, අවම තත්වයේ වුවද යෝජනාව ජන්ද හතකින් ජයගැනීමට තමන්ට හැකියාව තිබෙන බවය. දෙමළ ජාතික සන්ධානයේ සහාය ද අගමැතිවරයාට හිමිවුවත් තම ජයග්‍රහණයට එය ගැටලුවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.
විශ්වාසභංගය සම්බන්ධයෙන් ගන්නා තීරණය ගැන සාකච්ඡා කිරීම පිණිස දෙමළ ජාතික සන්ධානය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතව තිබුණි.
මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වසන්ත සේනානායක සහ පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරුන් සඳුදා සමග කියා සිටියේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමන් තවමත් අවසාන තීරණයකට එළැඹ නැති බවය.
බීබීසී සිංහල සේවය
The post අගමැති රනිල් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කලා – හරීන් appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments