තමන්ගේ අනාගතය වෙනුවෙන් ජනතාව පීඩනයට පත් කර රට අමාරුවේ දැමීම අපාගතවන වැඩක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කර සිටියේ, රන් දෑතට රැකවරණය නමින් ගොවි ජනතාව වෙත වගා හානි සදහා වන්දි බෙදා දීමේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පසුගිය මහ කන්නයේ වගා හානි වූ ගොවින් සදහා වන්දි මුදල් ප්‍රදානය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් අනුරාධපුර සමූපකාර ශ්‍රවණාගාරයේදී මෙලෙස සිදු කරනු ලැබීය. එහිදී හෙක්ටයාරයක් (අක්කර 2 ½ ක්) සදහා රුපියල් ලක්ෂය බැගින් ගොවි ගෙවිලියන් 500 කට ආසන්න පිරිසකට බෙදා දීම සිදු කෙරිණි. අනුරාධපුර දිසාවේ වගා හානි වන්දි ගොවීන් 19 000 කට පමණ ගෙවීමට නියමිතය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා 2020 වනතුරු මේ රට පාලනය කරන්න, ජනාධිපතිතුමන්ට වගකීමක් තියෙනවා 2020 වන තුරු මේ රටේ ජනාධිපති විදිහට මේ රට පාලනය කරන්න. මේ ප්‍රාදේශීය සභා මැතිවරණයක ප්‍රතිඵලත් එක්ක අපි මොකටද මේ ආණ්ඩුව අවුල් කර ගන්නේ .නුවර ඉඳන් කොළඹට පයින් ඇවිත් කියනවා ආණ්ඩුව ගෙදර පලයන් කියලා. මේ රටේ ව්‍යවස්ථාව පැත්තකට දාන්න කියලා කියන්නේ. මේක මහා විකාරයක්. අනෙක් රටවල් දියුණු වෙන්නේ මැතිවරණ තියනවා, කවුරු හරි දිනනවා- කවුරු හරි පරදිනවා. දිනපු අය තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා. පැරදිච්ච කට්ටිය ඊළඟ පාර දිනාගන්න වැඩ කරන්න ඕන.
එහෙම නැතිව පැරදුණ කෙනා පැරදිච්ච දවසේ ඉඳන් දිනපු කෙනාගේ කකුලෙන් ඇදලා හරියනවාද? කොහොමද ඉස්සරහට යන්නේ. ගමක ගොවි සංවිධානයක් ගත්තොත් ගොවි සංවිධානයේ සභාපතිකමට අලුතින් කෙනෙක් පත් වෙනවා. හිටපු සභාපති අලුතින් පත් වුණ සභාපතිගේ අඩුපාඩු හොය හොය හිටියොත් ගොවි සංවිධානය ඉස්සරහට යනවාද? ගොවි සංවිධානය දෙකට බෙදිලා වැඩ කරන්න බැරි වෙනවා නේද? එහෙම නම් ඇයි මේ රටට එහෙම කරන්නේ. තමන්ගේ දේශපාලන වුවමනාව වෙනුවෙන් ඇයි මේ රටක් අමාරුවේ දාන්නේ ?
ජනාධිපති මැතිවරණයේ කවුරු හරි දිනලා, කවුරු හරි පැරදුණාම 2020 ජනාධිපතිවරණයේදී ආයේ ජනාධිපතිකම ගන්න උත්සහ කරනවා මිසක් ඉන්න ජනාධිපතිගේ වැඩ අවුල් කරලා හරියනවාද? ආණ්ඩුවක් පත් වුණාට පස්සේ ඒ ආණ්ඩුවත් එක්ක වැඩ කරනවා මිසක් පැරදුණ කණ්ඩායම හැමදාමත්, දිනපු කණ්ඩායමේ අඩුපාඩු ටික කිය කිය අනව්‍යශ විදිහට බලපෑමක් කළාම රටක් ඉස්සරහට යනවාද? අද මේ රටේ වෙලා තියෙන්නේ මේ ටික. මේක අපාගතවන වැඩක්. තමන්ගේ අනාගතය වෙනුවෙන් රටක් අමාරුවේ දාන්න, ජනතාව පීඩනයට පත් කරන්න කටයුතු කරන්න එක.
ඉතිහාසයේ ඉඳන් අක්කරයකට රුපියල් 10 000 ක් පමණයි වගා හානි වන්දි ලැබුණේ. හැමදාමත් ගොවියාව ශක්තිමත් කරවන්න ගොවියාව රජකරවනවා කියලා මැතිවණ කාලයට නොයෙකුත් පොරොන්දු දෙනවා. අපි කලින් හිටිය ආණ්ඩු කාලයේ 2012-2013 වර්ෂයේ විශාල නියඟයක් පැවතුණා. ඒ වෙලාවේ පළාත් සභා මැතිවරණයත් තිබුණා, ඒ මැතිවරණය අවස්ථාවේදී අපි පක්ෂයක් විදිහට අපි ජනතාවට බොහෝ පොරොන්දු දුන්නා. වන්දි දෙන්නම් කිව්වා, හාලා දෙන්නම් කිව්වා, බිත්තර වී ටික දෙන්නම් කිව්වා හැබැයි කිසිම දෙයක් අපිට දීගන්න පුළුවන්කම ලැබුණේ නෑ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයයි අපියි අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා හැබැයි කිසි දෙයක් අපිට දීගන්න බැරි වුණා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ එතුමා විශ්වාස කරපු හා කරන කාරණයක් තිබුණා. ඒ තමයි මේ රට ගොවිතැනින් සශ්‍රීක කරන්න, ගොවියත් එක්ක මේ රටේ ආර්ථිකය ගැට ගහන්න එතුමන්ට විශාල ඕනකමක් තිබුණා.
අක්කරයක වගා හානියක් සඳහා රුපියල් 40 000 ක වන්දි මුදලක් ලබා දීමට පහුගිය අයවැයේදී අපි තීන්දුවක් ගත්තා. ගොවීන් අපෙන් ඒ සඳහා ඉල්ලීමක් කළේ නෑ. හැබැයි වගාවට යම් කිසි හානියක් සිදු වුණොත් රුපියල් 10 000 ක් ලැබුණොත් ඒක දැනෙන්නෙවත් නෑ. වී වගා කරලා, අස්වැන්න ලබා ගෙන ඒ අස්වැන්න විකුණලා ලැබෙන ලාභය අක්කරයකට දළ වශයෙන් රුපියල් 40 000 ක් පමණ වෙනවා. ඒ නිසා ඒ මුදලට රක්ෂණය වෙනස් කරන්න අපි තීන්දු කළා.
එතකොට කුඹුරක් 100% ක් වගා හානි වුණත් අස්වැන්න ලබා ගෙන විකුණලා ලැබෙන ලාභය අද අස්වැන්න විදිහට ලැබෙනවා. ඒ නිසා තමයි රුපියල් 10 000 ට තිබුණ රක්ෂණය රුපියල් 40 000 දක්වා වැඩි කරලා දුන්නේ. දැන් අපි ගොවි මහත්වරුන්ගෙන් රුපියලක්වත් අය කරන්නේ නැතිව නොමිලේම රක්ෂණය ලබා දෙන්න මේ ආණ්ඩුව තීන්දු කරලා තියෙනවා. ඉදිරි කන්නයේ සිට රුපියලක්වත් අය නොකර වී වගා කරන සියලුම ගොවි මහත්වරුන් අක්කරයකට රුපියල් 40 000 ක රක්ෂණ ආවරණයක් ලබා දී තිබෙනවා.
ආණ්ඩුව එක කන්නයක් සඳහා සමස්ත ගොවි මහතුන් රක්ෂණය කිරීම සඳහා රුපියල් බිලියන 02 කට වැඩි මුදලක් දරනවා. මේ රක්ෂණ ආවරණය ලබා දීලා අපි බලාපොරොත්තු වෙන්නේ ගොවියන් නගා සිටුවන්නයි. දැන් ගොවීන්ට තමන්ගේ ගොවිතැන අලින්ගෙන් හානි වුණත්, නියගයෙන් හෝ ගංවතුරෙන් වගා හානි වුණත් ලබා ගන්න තියෙන ආදායම ලැබෙනවා කියලා දන්නවා. දැන් මේ රටේ ගොවි මහත්වරුන් ටික සුරක්ෂිතයි. වගා හානියෙන් සිදුවන පාඩු මකා දමා ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ පදනම අපි දැන් දලා තියෙනවා.
පහුගිය කාලයේ අපි නියඟයන් 04 කට මුහුණ දෙන්න සිදු වුණා, ඇතැම් ප්‍රදේශ වලට ගංවතුර තත්වයන්ට මුහුණ දෙන්න සිදු වුණා.ගොවිමහත්වරුන්ට පහුගිය කාලසීමාව තුළ දේශගුණයෙන්, කාලගුණයෙන්, ස්වභාව ධර්මයෙන් බොහෝ විපත් සිද්ධ වුණා. එවැනි විපත් සිදු වන විට කාටවත් බැන්නට වැඩක් වෙන්නේ නෑ ඒක අපිට දරා ගන්න සිද්ධ වෙනවා. හැබැයි මේ ආණ්ඩුව ඒ සොබාදහමින් වුණ විපතට ජනතාවට පිහිට වෙන්න පහුගිය කාල සීමාව තුළ රුපියල් 5000 ක බඩු මල්ලක් දුන්නා, ඒ වගේම රුපියල් 5000 හා රුපියල් 1000 ක ආධාර මුදලක් ලබා දුන්නා. රුපියල් 2500 බැගින් ගෙව්වා. මේ වගේ අදියර කිහිපයකට වගා හානියට පත් වූ ගොවීන්ට හා කුඹුරක් නැතිව කුලී වැඩ කරලා ජීවත් වුණ ජනතාවට ආධාර මුදල් ලබා දුන්නා, බඩු මල්ලක් ලබා දුන්නා. ඒ සඳහා විශාල මුදලක් ආණ්ඩුව වැය කරලා තියෙනවා.අපි දළ වශයෙන් ගත්තොත් මේ සඳහා මාසයකට බිලියන 14 ක් පමණ වැය කරලා තියෙනවා.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක මහතා ඇතුළු නිලධාරීහු හා ගොවි ගෙවිලියෝ විශාල පිරිසක් සහභාගී වූහ.
අනුරාධපුර අතිරේක
දිස්ත්‍රික් සමූහ සහ
කැබිතිගොල්ලෑව සමූහ


0 Comments