ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල වාර්තාගත මට්ටමින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම සහ මැද පෙරදිග උණුසුම් දේශපාලන වාතාවරණය හේතුවෙන්.
පවතින තත්ත්වය හමුවේ මේ වන විට බොර තෙල් බැරලයක මිල ඩොලර් 75කට අධිකය.
වසර තුනකට අධික කාලයකට පසුව තෙල් මිල මෙතරම් ඉහළ ගිය පළමු වතාව මෙය වන අතර අවසාන වතාවට බොරතලේ මිල මෙතරම් ඉහළ ගියේ 2015 මාර්තු මාසයේ දීය.
පසුගිය දින හය මුළුල්ලේ තෙල් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පැවතිය ද ඒ අනුව මේ වසර මුලදී පැවති පහළ මට්ටමේ තෙල් මිලට සාපේක්ෂව මේ වනවිට මිල 20% කින් ඉහළ ගොස් ඇත.
දෙපාර්ශ්වය අතර ගැටුම් උණුසුම ඉහළ යාමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයේ ඛනිජ තෙල්වලට එරෙහිව යළිත් වරක් සම්බාධක පැණවීමට ඉඩ තිබෙන බවට පළවන බිය තෙල් මිල එතරම් ඉහළ යාමට ප්‍රධානම හේතුවය.
කෙසේ වෙතත් ඉරානය සමග අත්සන් තබා තිබෙන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වන්නේදැයි ඇමෙරිකා එක්සත් ජනපදය ලබන මැයි 12 වෙනි දින වන විට තීරණය කිරීමට නියමිතය.
ලෝක වෙළෙඳපොලේ මිල ඉහළ යාමත් සමග ශ්‍රී ලංකාවේ ද තෙල් මිල ඉහළ දැමිය යුතු දැයි යන්න පිළිබඳ ආණ්ඩුව සලකා බලමින් සිටින බවට ජනමාධ්‍ය තොරතුරු වාර්තා කලේය.




0 Comments