ඕනෑම ස්ථානයක දී ඔබ ලිංගික හිංසනයකට හෝ අතවරයකට ලක් වන්නේ නම් නිහඬව සිටිය යුතු නැති බව මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසයි. එවන් අවස්ථාවක නීතියේ රැකවරණය ලබා ගැනීමට කාන්තාව දැනුවත් විය යුතු බව ද ඔහු සඳහන් කරයි.
වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ ලිංගික හිංසනය සහ කාන්තා අතවර වළක්වා ගැනීම පිළිබඳව මහරගම ජාතික තරුණ සේවා සභාවේ සිසුවියන් වෙනුවෙන් පැවැති දේශනයක දීය.
එහි දී අදහස් දැක් වූ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා ,
“ කුඩා කාලයේ දී ගැහැනු සහ පිරිමි ළමයා ලෙස හැඩ රුවින් හඳුනා ගැනීම අපහසු වුවත් තරුණ වියට පත් වීමත් සමග අපට ඔවුන් අතර පැහැදිලි වෙනස්කම් හඳුනා ගත හැකි වෙනවා. තරුණ වියේ දී හෝමෝන ක්‍රියාත්මක වීම නිසා තමයි මේ තත්ත්වය අපට හඳුනා ගත හැකි වෙන්නේ. අප මේ දකින්නේ කායික වෙනස් වීම්. ඒ සමගම මානසික වෙනස් වීම් ද සිදු වෙනවා. විරුද්ධ ලිංගිකයන් කරා ආකර්ෂණය වන්නේ මෙන්න මේ මානසික වෙනස් කම් සිදු වීමෙනුයි. එහෙම නොවෙනවා නම් ඒක ලෙඩක්.
සම ලිංගිකයන් කරා ආකර්ෂණය වීමත් සිදු වෙනවා තමයි. ඒකත් රෝගයක්. බටහිර රටවලට ඒක රෝගයක් නොවුණට ලංකාවෙ නම් රෝගයක්. මොකද මිනිසුන් ගේ හැසිරීම් සහ ලිංගිකත්වය තීරණය කරන්නේ ඒ රටේ සංස්කෘතිය අනුව. අපේ සංස්කෘතියට ඒක ගැළපෙන්නේ නෑ. ඒත් මෙය රෝගයක් කියලා ඔවුන් දන්නේ නෑ, ඔවුන් කොහොමද ආකර්ෂණය ඇති කර ගන්න හඳන්නේ. ඒ වගේ අය ඕන තරම් ඔය බස් වල, පාර වල් වල ඉන්නවා. අන්න ඒ ඔවුන්ගේ ආකර්ෂණයට ලක් වීමේ දී ඔබට මොකද වෙන්නේ? අන්න ඒක ගැන තමයි මේ කතා කරන්නේ.
අධිකරණ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන මට පියා විසින් දුව දූෂණය කළ අවස්ථා රැසක් මට ඇවිල්ලා තිබෙනවා. මේ සමාජයේ එහෙම දේ සිදු වෙනවා. කිසිම කෙනෙක් විශ්වාස කරන්න බෑ මේ සමාජයේ. සමහර අය ඉන්නවා හැම දෙයක් දෙසම බලන්නේ ලිංගිකත්වයෙන්. ඔබ ලස්සනට ඇඳ ගෙන ගියාම ඔහු බලන්නේ ඒ ඇඳුම ඇතුළේ මොනවද තියෙන්නේ කියලයි. ඒක තමයි ඇත්ත. ගොඩක් වෙලාවට ඔබ අතවරයට ලක් වෙන්න පුළුවන් ඇඳුම් පැලඳුම්, හැසීරීම හා චර්යාවන් අනුව.
අද සමාජයේ කාන්තාවන් ලිංගික හිංසනයන්ට සහ අතවරයන්ට ලක් වන්නේ වයස, හැඩ රුව හෝ තරාතිරමක් ඇතිව නොවේ. සමහර කාන්තාවන් නොදැනුවත්වම මීට ගොදුරු වන අතර තවත් කොටසක් ලජ්ජාව නිසා නිශ්ශබ්දව සිටිනවා.
මතක තබා ගන්න තමන්ගේ සිරුරේ අයිතිය තිබෙන්නේ තමන්ටම පමණක් මිස වෙන කාටවත් නෙවෙයි. අද තරුණියන් බොහෝ විට ආදරය, ප්‍රේමය කියන දේ හැඟීම් වලට පමණක් සීමා කර ජීවිතයම අඳුරු කර ගන්නවා. අපගේ සිරුරේ ප්‍රධානතම ලිංගික අවයවය සමහර විට ඔබ සිතන දේ නෙවෙයි. එය පිහිටා තිබෙන්නේ මොළයේ. මේ දේවල් ඔබ පාසලේ දී ඉගෙන ගෙන තිබෙනවා.
කොහොම වුණත් ලිංගික හිංසනයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔබ දැනුවත් වීම වැදගත්. ඔබ ආදරය කරන පුද්ගලයා යම් අවස්ථාවක කතා කරාවි හෝටල් කාමරයකට යන්න. ඔහු තරහා වෙයි කියන බවට ඔබත් ඊට එකඟ වෙනවා. මොන තැනක ගියත් තමන් ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න ඔබ බුද්ධිමත් විය යුතුයි. ඔහු ගේ කීමට එකඟ නොවන ඔබව සමහර විට ඔහු අතහැර යාවි. නමුත් ඒ මේ ලෝකයේ සිටින අවසන් පිරිමියා නොවන බව ඔබ සිතිය යුතුයි.
ඔබ වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක් නම් ඔබේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔහු ලිංගික ක්‍රියාවක නිරත වූවා නම් අනිවාර්යයෙන්ම දඬුවම් ලබන වරදක්. ඒවා දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලිව සඳහන් වෙනවා.
ඔබ පොදු ප්‍රවාහන සේවාවන් හිදී, මහමග දී විවිධ අතවරයන්ට ගොදුරු වන බව අප දන්නවා. ඒ වගේම ඔබ නොදැනුවත්ව සිදු වන බොහෝ දෑ තිබෙනවා. ඔබ දන්නවාද අප අතර කොතරම් කැමරා ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා ද කියා? ඔබ ඔහු සමග හෝටල් කාමරයකට ගිය හොත් ඔබෙන් අය කරන කාමර කුලියට වඩා ඔබේ පුද්ගලික ක්‍රියාකාර කම් පටිගත කර වෙනත් රට වලට විකුණා ඔවුන් වැඩි ආදායමක් සොයා ගන්නවා. ඔබ සිටින කාමරයේ විදුලි පේනු (ප්ලග් පොයින්ට්), නාන කාමරයේ වතුර මල, ඔහුගේ කැප් තොප්පිය, පෑන, කන්නාඩිය, කී ටැග්, ෆෑන් වගේම සපත්තුවේත් කැමරා සවි කර තිබෙන බව ඔබ නොදන්නවා ඇත.
පසු ගිය දිනක සපත්තුවේ කැමරාවක් සහිත පුද්ගලයකු පාසල් සිසුවියන් ගේ නිල ඇඳුම් යටින් පටිපත කර ගත් දර්ශන සහිතය අත් අඩංගුවට ගත්තා. මේවා ඔබ දැන ගත යුතු දේවල්.
සමහරු සිටිනවා ඔවුන් ගේ ලිංගික අවයව පෙන්වා තෘප්තිමත් වන පිරිස්. මෙවන් අවස්ථා වලදී ඔබ අපහසුවෙන් සිටිය යුතු නෑ. ඔබට ඊට එරෙහිව නැගී සිටිය නොහැකි නම් එය මග හැර යන්න. අසලසිටින කෙනෙකු ගෙන් උදවු ඉල්ලන්න. ආත්මාරක්ෂක පහරක් එල්ල කළාට කමක් නෑ. ඔවුන්ව අඩපණ කරන්න ඔබට පුළුවන්. ඔබට පුලුවන් කම තිබෙනවා පොලීසියට කියන්න. ඔබේ පොලීසියේ, හදිසි ඇමතුම් අංක ළඟ තබා ගන්න. මීට අමතරව ඔබට දැන් හොඳ ආයුධයක් තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයෙන් ඔහුගේ ඡායාරූපයක් ගන්න. වාහනයක් නම් අංක තහඩුව සටහන් කර ගන්න. මොනවා නැති වුණත් එවන් සාක්ෂි තිබෙනවා නම් අද සමාජ ජාලා මගින් ඔහුට සමාජයෙන් හෝ දඬුවම් ලබා දිය හැකියි.
විශේෂයෙන් කිව යුතු දෙයක් තිබෙනවා. ඔබේ ඇඳුම් පැලඳුම් මෙවන් අතවරයන්ට අත වැනීමක් බව ඔබ නොදන්නවා විය හැකියි. එවන් ඇඳුම් පැලඳුම් වලින් සැරසී යාමෙන් අපහසුතාවයට, අතවරයට ලක් වන්නේ ඔබමයි. ඒ නිසා ඔබ අඳින පලඳින දේ පිළිබඳව සැලකිලිමත් වෙන්න.
දුරකථනය නිසා බොහෝ ගැටලු ඇති වී තිබෙනවා. මිස් කෝල්ස් වලට කතා කරන්න ගිහින් ජීවිතෙන්ම වන්දි ගෙවන්න වෙන අවස්ථා සමහරුන්ට උදා වෙලා තිබෙනවා.
ලිංගික අතවර කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියේ විශාල පරාසයක් තිබෙනවා. කෙනෙකුගේ අකමැත්ත තිබියදී වචනයෙන් හෝ ක්‍රියාවකින් හෝ ලිංගික හිරිහැර කිරීම නීතියට අනුව වරදක්. ලිංගිකත්වය හුවා දැක්වෙන පරිදි යම් කිසි අතවරයක් කළ හොත් අධිකරණයට යන්න පුළුවන්. ඔය බස්වල පාරවල් වල සිදු වන දේවල් වලට මේකෙන් දඬුවම් කරන්න පුළුවන්
මේ අවස්ථාව සඳහා මහරගම තරුණ සේවා සභාවේ විවිධ පාඪමාලා හදාරන සිසු සිසුවියෝ විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.
ක්‍රිසන්ති විතාරණ


0 Comments