Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටට හඳුන්වා දුන් සරල විනිවිද බදු ප්‍රතිපත්තිය දරිද්‍රතාව අවම කර ආර්ථිකය සුරක්ෂිත කරනවා

Author(s): 
ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සන්ධ්‍යා කරුණාරත්න

ඉතිහාසයේ සෘජු විදේශ ආයෝජන වැඩිපුරම ලැබුණේ පසුගිය වසරදී
- මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න

වෙළෙඳ භාණ්ඩ බද්ද ජීවන මිලට බදු එකතු කිරීමක් වෙනවා
- වාසුදේව නානායක්කාර

සේවාවන් නිෂ්පාදන ආදායම හරියට ගණනය කරන්න විදියක් නැහැ
- රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා

දූෂණ වංචාවලට හා ඇමැතිවරුන්ගේ හිතුමනාපයන්ට යට නොවුණු සරල විනිවිඳ පෙනෙන බදු ප්‍රතිපත්තියක් රටට හඳුන්වා දී ඇති බවත් දරිද්‍රතාව අවම කරන මෙම බදු ක්‍රමය තුළින් පොදු මහජනතාවගේ හා රටේ ආර්ථිකය සුරක්ෂිත කරන බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (03) ප්‍රකාශ කෙළේය.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මේ බව පැවැසුවේය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (03) පෙරවරු 10.30ට ආරම්භ විය. නිවේදන, ලිපිලේඛන, අමාත්‍යාංශ නි‍වේදන, වාර්තා සහ පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් අසන ලද ප්‍රශ්නවලට ඒ ඒ විෂයභාර ඇමැතිවරුන් පිළිතුරු ලබාදුන්හ.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා

අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන නව ආදායම් පනත ගැන අසත්‍ය වැරදි තොරතුරු මාධ්‍යයෙනුත්, දේශපාලකයනුත් ඉදිරිපත් කර තිබුණා. නව දේශීය ආදායම් පනත සම්මත කර එය ජනතාව වෙත හුරුපුරුදු වීම සඳහා යම් කාලයක් ලබාදීමට අවශ්‍ය නිසා එය ක්‍රියාත්මක කිරීම අප්‍රේල් 01 වැනිදා දක්වා කල් දැම්මා. මේ බදු පනත ගැන සෑම පාර්ශ්වයක් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, පොදු මහජනතාවගේ අදහස්, පක්ෂවල අදහස් සැලකිල්ලට ගෙන එය සම්මත කර ගත්තා. ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන මහත්වරුන්ගේ අදහස් පවා අපි මේ පනත සම්මත කිරීමේදි සැලකිල්ලට ගත්තා. මෙරට සෘජු හා වක්‍ර බදු පරතරය ඉතා අහිතකරයි. සෘජු බදු ගෙවන්නේ සියයට 18 ක් වගේ අඩු ප්‍රමාණයක්. සෘජු බදු වැඩිපුර ගෙවන රටවල් සඳහා උදාහරණයන් පවතිනවා. මැලේසියාව සියයට 72 ක්, ඉන්දියාව සියයට 54 ක්, බංග්ලාදේශය සියයට 33 ක් ලෙස සෘජු බදු ගෙවනවා. ලංකාවේ අපි තවමත් සියයට 18 ක අඩු ප්‍රතිශතයක ප්‍රමාණයක් තමයි සෘජු බදු ගෙවන්නේ. සියයට 82 ක්ම වක්‍ර බදු. මහා මන්දිරවල අයටත්, කම්කරුවාටත් එකම බද්ද ගෙවන්න වෙනවා. අනුපාතය වෙනස් කළ යුතුයි. 18 යි 82 අනුපාතය අඩුම ගණනේ 40 යි 60 යි දක්වා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන සැලසිය යුතුයි. හෙංචයියන්ට බදු සහන ලබාදී පසුගිය ආණ්ඩුව යටතේ කොමිස් ගත් අයුරු අපි දන්නවා. විදේශ රටවල රැකියා කරන අය ආදායම් බදු ගෙවනවා කියනවා. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මෙරට සිට විදේශ රටවලට සේවාවන් සපයන්නන්ට රුපියල් බිලියන 15 දක්වා බදු නිදහස් කර තිබෙනවා. රජයේ බදු ප්‍රතිපත්තියේ මූලික අරමුණු තිබෙනවා. ආදායම වැඩි කර ගැනීම එක් අරමුණක්. සෞඛ්‍ය, අධ්‍යාපනය සඳහා ලබාදෙන රජයේ දායකත්වය වැඩි කිරීම මේ බදු මඟින් සිදු කරනවා. වක්‍ර බදුවලින් ලබාගන්නා ආදායම වැඩියි. ජනතාවගේ ආදායම් ගැන නොසිතා දුප්පතාගෙනුත්, පොහොසතාගෙනුත් එකම බදු ප්‍රමාණයන් අය කරනවා. එය යහපත් නැහැ. දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන් උසුලන බදු බර අවම කළ යුතුයි. දේශීය ආදායම් පනත යටතේ බදු නිදහස් කිරීම ගැන හඳුන්වා දී තිබෙනවා. බදු නොගෙවෙන්නන් ගැන විමසිලිමත් විය යුතුයි. රුපියල් 150,000 ක වගේ වැටුපක් ලබනවා නම් බදු ලෙස ගෙවන්නට වෙන්නේ රුපියල් 2000 ක් වාගේ ඉතාම අඩු මුදලක්. බදුවලින් සිදු වන දූෂණයන් අවම කර තිබෙනවා.

නියෝජ්‍ය කාරක සභා සභාපති එස්. අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා

මෙරට ආර්ථිකයේ මේ වසර දෙක තුළදි අයවැය පරතරය ටිකක් වැඩි වුණා. පරිසරයේ හා කාලගුණ විපර්යාස නිසා එය එසේ වුණා. ගෝලීය උණුසුමට දායකත්වය නොදැක්වූ රටක් වුවත් අපට කාලගුණ විපර්යාසවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. මෙරට ආර්ථිකයේ බොහොමයක් පැති ධන වෙලා තිබෙනවා. අපනයනය ඉහළ ගොස් තිබෙනවා. මත්ස්‍ය අපනයනය ඉහළ ගොස් තිබෙනවා. ජී.එස්.පී. ප්ලස් සහනය තවමත් අපේ ආර්ථිකයට එක් වෙලා නැහැ. එහි ප්‍රතිලාභය ලබන වසර තුනේදි දැකිය හැකියි. බඩු භාණ්ඩ 7000 ක් පමණ ජී.එස්.පී. ප්ලස් සහනය මඟින් ලැබෙනවා. ඉතිහාසයේ සෘජු විදේශ ආයෝජන වැඩිපුරම ලැබුණු වසර ලෙස පසුගිය වසර හඳුන්වාදිය හැකියි. මහ බැංකු වාර්තාවට අනුව උද්ධමනය වැඩි වෙලා තිබුණට එය අඩු වෙලා තිබෙනවා. බඩු මිල අඩුවීමේ ප්‍රවනතාවක් තිබෙන බවට මහ බැංකු වාර්තාව පෙන්වා දී තිබෙනවා. බදු විදයම වන්නේ අධ්‍යාපන, සෞඛ්‍ය සඳහායි. යටිතල පහසුකම් ගොඩනඟනවාටත් වඩා වැදගත් වන්නේ මානව සම්පත ඉහළ නැංවීමයි. සෞඛ්‍යයට 2014 වසරේදි වියදම් කළ මුදල් සංඛ්‍යාවට වඩා වර්තමානය වන විට වැඩි කර තිබෙනවා. නාස්තිය අවම කළ යුතුයි. බොහෝ ක්‍රමවේද ඒ සඳහා යෙදවිය යුතුයි. ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව කියන ආයතන මඟින් බදු ලබා ගැනීම සිදු කරනවා. අලුත් රේගු පනතක් ඉදිරියේදි ගේන්න කටයුතු කරනවා. විද්‍යුත් මාර්ග භාවිතා කර රේගුවේ ගෙවීම් කරන්නට පහසුකම් තිබෙනවා. විද්‍යුත් අත්සන යෙදීමට පහසුකම් ලබාදී තිබෙනවා. බදු ගෙවන්නා හා නිලධාරියා අතර තිබෙන සම්බන්ධතා මේ නිසා අඩු වෙනවා. ඒ අනුව බදු සම්බන්ධයෙන් වන දූෂණයන් අඩු වෙනවා. ආදායම් බදු අත්පොත වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා. තවත් ආදායම් බදු ගෙවන විට ජනතාවට පහසු කරවන වැඩපිළිවෙළක් ඉදිරියේදි ඉදිරිපත් කරනවා. ණය බර කළමනාකරණය කරන වැඩපිළිවෙළක් ද සකස් කරනවා. වෙළඳපොළේ පොලිය කියන දෙය වෙනස් වෙමින් පවතිනවා. ණය කළමනාකාරිත්වය පනත මඟින් කර තිබෙන්නේ ණය බර අඩු කිරිමක්. ආර්ථික සංවර්ධනය වැඩි කිරීමට මුල් තැනක් අපි ලබාදීම සිදු කරනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා මුලසුනට පැමිණියේය.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස)

වෙළෙඳ භාණ්ඩ බද්ද හරහා ජීවන මිල අඩු කරනවාට වඩා බදු එකතු කිරීමක් සිදු වෙනවා. දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ අරමුණ ඇතිව පිටරටින් ගෙනෙන බඩුවලට ගහන බදු වැඩි කළ යුතුයි. මහා ගබඩාවල තබා ඇති සහල් හෝ වෙනත් භාණ්ඩ ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට නොලැබීම නිසා බදු ඉහළ යාම සිදු වෙනවා. වක්‍ර බදුවල බලපෑම අද වැඩි වෙලා තිබෙනවා. විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු මඟින් වක්‍ර බදු වැඩි වී තිබෙනවා.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා

ආර්ථික වර්ධන වේගය අඩු වෙලා තිබෙන බව නානායක්කාර මහතා පැවැසුවා. එය දේශපාලය කෝණයෙන් නොබලා තාක්ෂණික ලෙස බලා කිව යුතු දෙයක්. එදා තිබුණු ආර්ථික ව්‍යූහයට වඩා අද ව්‍යූහය වෙනස්. උදාහරණයක් ලෙස පික් මී ප්‍රවාහන සේවාව තිබෙනවා. එදා මේවා තිබුණේ නැහැ. නමුත් අද තිබෙනවා. අලුතින් ආර්ථිකයට එක් වන සේවාවන් නිෂ්පාදනය කරන අයගේ ආදායම හරියට ගණනය කරන්න විදියක් නැහැ. වෙනස් වූ ව්‍යූහය නිවැරදිව ගණනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ වැඩපිළිවෙළක් යොදා තිබෙනවා. කොළඹ වරාය නගරය ඉදිවෙනවා. වැලියි ගලුයි දාලා තමා එය ඉදි කරන්නේ. සිමෙන්ති නැහැ. ඇමරිකන් ඩොලර් ගණනාවක් එමඟින් මෙරට ආර්ථිකයට එකතු වෙනවා. නමුත් වාර්තාවල එය සඳහන් වන්නේ නැහැ. ඉදි කිරීම් මනිනුයේ සිමෙන්ති අලෙවිය තුළින්. එතැන තාක්ෂණික ගැටලුවක් තිබෙනවා. මැනුම්වල වැරදි ක්‍රමයක් තිබෙනවා. එය නිවැරදි කර ගත යුතුයි. ආදායම් බදු අසාධාරණ ලෙස මිනිසුන්ගෙන් අය කරනවා කියනවා. රුපියල් ලක්ෂයක් වන තුරු ආදායම් බදු වදින්නේ නැහැ. සියයට 14 ක බද්දක් වදින්නේ ලාභය මත පමණයි. රෝගීන් සඳහා පහසුකම් ලබාදී තිබෙන්නේ රජය ලබා ගන්නා බදුවලින්. අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහනාධාර ලබාදීමට බදු යොදා ගන්නවා. බදු ගෙවීමේදි සාධාරණත්වයක් තිබිය යුතුයි. අර්ථ සාධකයට කිසිදු බදු මුදලක් ගහන්නේ නැහැ. සේවා නියුක්තිකයන්ගේ අරමුදලට බදු වදින්නේ නැහැ. මැද පෙරදිග සිට ලංකාවට මුදල් එවන අයට බදු ගහනවා කියන එකත් බොරු. මහින්ද මහතා කියනවා හැමෝගෙම බැංකුවල තිබෙන තැන්පතු වලට බදු ගහනවා කියලා. එතුමා සිටි කාලයේ සියයට 8 ක් බදු ගැහුවා. ඒවා එතුමාට අමතකයි. විශ්වාසභංගය පරදවා රජය හෙට සිට තවදුරටත් ඉදිරියට යනවා. ලෝකයේ ආණ්ඩුවක් ඒ ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමක් ගැන මං අහලා නැහැ. රජයක් තමන්ටම එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම ලෝකයේ කොහේවත් සිදුවෙලා නැහැ. එය විහිලුවක්. එජාපයේ පාක්ෂිකයන් එකා සේ හෙට එකම පැත්තේ හිට ගන්නවා. පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය ඉරිදා වන විට අවසන් කරනවා. කෘත්‍යාධිකාරි මණ්ඩලය පැය 48 තිස්සේ සාකච්ඡා කර එය ඉදිරිපත් කරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප) - සරල බදු ක්‍රමයක් ගෙන ඒමට රජය උත්සාහ කරනවා. එමඟින් බදු දූෂණ අවම කිරීම සිදු කරනවා. ජන ජීවිතයට සෘජුවම බලපාන භාණ්ඩ සඳහා මේ සරල බදු ක්‍රමය පැනවීම සිදු කළා. දේශීය ගොවීන්ට තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව දුක් වින්දා. පෞද්ගලික අංශය කමතට ඇවිත් වැඩි මුදලක් ලබාදී ගොවියාගෙන් වී මිලදී ගෙන යනවා. එය ගොවියාගේ පැත්තෙන් යහපත්. අස්වැන්න වැඩි වන කාලයට ද්‍රව්‍ය අතිරික්තයක් වෙනවා. ආණ්ඩුව වැඩ කළත් එහි ප්‍රචාරයක් සිදු වන්නේ නැහැ. විශ්වාසභංගය අපට ආශිර්වාදයක් බවට පත් වෙනවා. විශ්වාසභංග යෝජනාව තුළින් සිංහ හම පොරවාගෙන සිටින කොටළුවෝ ටික හඳුනාගෙන ඔවුන් යහ පාලනයෙන් ඉවත් කළ හැකියි. පිරිසිදු යහපාලනයක් සඳහා එක් වන පිරිස මේ විශ්වාසභංගයත් සමඟ අපට හඳුනාගත හැකියි. සිංහ හම පොරවාගෙන සිටින කොටළුවන් ටික හඳුනා ගැනීමට අවස්ථාවක් ලබාදීම ගැන ඒකාබද්ධ විපක්ෂයට අපි ස්තුතිවන්ත වෙනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා (එජනිස) - මොන්ට්‍රේල් ප්‍රඥප්තිය මඟින් කරනුයේ ඕසෝන් ස්ථරයට හානි වන වායුව තහනම් කිරීම. එවැනි ප්‍රඥප්තිවලට අපි සහාය ලබාදිය යුතුයි. මී මැස්සෙක් මලකින් මල් පැණි ගන්නවා වගේ ජනතාවගෙන් බදු අය කළ යුතුයි. සමාජ සාධාරණය ඇති කිරීමට, යම් දේවල් සම්බන්ධයෙන් ජනතාව අධෛර්ය කිරීම යනාදිය සම්බන්ධයෙන් බදු ගැසීම සිදු කරනවා.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. තිලකරාජා මහතා (එජාප)

ඕසෝන් ස්ථරයට වන හානිය ගැන තීරණ ගැනීමට රටක් ලෙස අපටත් වගකීමක් තිබෙනවා. ක්ලෝරෝ ෆ්ලෝරෝ වායුව කර්මාන්තශාලා, ඉලෙක්ට්‍රික් භාණ්ඩවලින් නිකුත් වන බව අපි දන්නවා. වතුකරයේත් විවිධ වල් නාශක භාවිතා කරනවා. කාන්තාවන් වැඩිපුර මේ සඳහා යෙදී සිටිනවා. වතු පාලන ආයතන මේ ගැන සිතිය යුතුයි.

චන්දිම ගමගේ මහතා

සූර්යාගේ පාරජම්බූල කිරණ පොළොවට සෘජුවම පතිත වීම නිසා ජනතාවට හානියක් සිදු වෙනවා. පරිසර හිතකාමී රටක් ලෙස ශ්‍රී ලංකාවට නමක් දිනා ගත හැකි වුණා. අපේ රජය ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ලබාදෙනවා. එය අහිතකර ලෙස භාවිතා කරමින් රජය අපහසුතාවට පත් කිරීමට විපක්ෂය කටයුතු කරනවා. විශ්වාසභංග ගෙනා යුත්තේ රට නොමඟ යවන පුද්ගලයින්ට. වැරදිකරුවන්ට නොව වැරැද්ද පෙන්වාදෙන අයට දඬුවම් ලබාදීමට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස කටයුතු කරනවා. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඒ. විවිධ මත ඉදිරිපත් කරමින් විපක්ෂය සෞභාග්‍ය උදා කර ගැනීමට උත්සාහ කරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය.

බිමල් රත්නායක මහතා - (ජ.වි.පෙ.)

අවුරුදු 18 ට වැඩි සියලුදෙනාගෙන් බදු අය කර ගැනීමට රජය උත්සාහ කරනවා. ජනතාව භුක්ති විඳින සේවා හා භාණ්ඩ මත බදු පැනවීම මඟින් රජයේ ආදායම සොයන්න රජය උත්සාහ කරනවා. බදු බර භයානක විදියට අප්‍රේල් 01 වැනිදා සිට ජනතාව පිට පැට වී තිබෙනවා. නව දේශීය ආදායම් පනතේ තිබෙන භයානකකම ගැන ජනතාවට පැහැදිලි කර දිය යුතුයි. මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් විශාල උද්ඝෝෂණයක් කළා මට මතකයි. ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මාස ගණනක්, අවුරුදු ගණනක් කැබිනට් එක තුළ තිබූ මේ විගණන පනතත්, විගණකාධිපතිවරයා, නීතිපතිවරයාත් ඉදිරිපත් කළ විගණන පනතත් අතර පරතරය සලකා බැලිය යුතුයි.

පාර්ලිමේන්තුව අද (04) උදෑසන 9.30 ට යළි රැස් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();