Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනවාරි 8 විප්ලවයට දායක වූ ජනතාව විශ්වාසභංගය පරාජය කිරීමට පෙනී සිටිය යුතුයි

ඒකාබද්ධ විපක්ෂය අද (04) ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අගමැතිවරයා පමණක් ඉලක්ක කර ගත්තක් නොව එය සමස්ත ආණ්ඩුව අරඹයා ගෙන එන්නක් බව පුරවැසි සංවිධාන එකතුව ප්‍රකාශ කරයි.

ජනවාරි 8 වැනිදා විප්ලවයට දායක වු 62 ලක්ෂයක් වු ජනතාව මෙම විශ්වාසභංගය පරාජයට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් එම එකතුව අවධාරණය කරයි.

ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගය ජයග්‍රහණය කළහොත් ජනවාරි 8 ජනවරම පරාජයට පත් ව රටට අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දීමට සිදු වන බවත් ජනවාරි 8 ජයග්‍රහණයට උර දුන් සියලු පාර්ශ්වයන් මහජනතාවගේ විශ්වාසයට හානි නොකිරීමට වගබලා ගත යුතු බව එහි සමකැඳවුම්කරු සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය.

විශ්වාසභංගයෙන් රජය පරාජයට පත් වුවහොත් වෙනත් එජාප නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ද සම්බන්ධ කර ගෙන අලුත් රජයක් පිහිටුවීමේ කුමන්ත්‍රණයක් පවතින බැවින් ඊට හසු නොවන ලෙස ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු ජනවාරී 8 ජයග්‍රහණයට උර දුන් සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව ද ඒ මහතා කීවේය.

විශ්වාසභංගය සම්බන්ධයෙන් සිවිල් සමාජයේ මතය ඉදිරිපත් කිරීම සඳහා මරදාන සාමයික හා සමාජය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් ඊයේ (03) ඒ මහතා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ වියන්ගොඩ මහතා මෙසේ ද කීවේය.

අගමැතිට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය 2015 දී අහිමි වු බලය යළි ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය විසින් ක්‍රියාත්මක කරන දේශපාලන කුමන්ත්‍රණයක එක් තීරණාත්මක අවස්ථාවක්.

මෙය අගමැතිවරයාට විරුද්ධව ගෙන එන විශ්වාසභංගයක් ලෙස පෙළ ගස්වා තිබෙනවා. අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඊයේ ශ්‍රීලනීපය කරන ලද ඉල්ලීම මීට මාසයකට පෙර පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට ඉදිරිපත් කළේ පෙබරවාරි 10 පරාජයෙන් පසුවයි. මෙය කරලියට ආවේ පෙබරවාරි 10 පසුවයි. මේ මාසයක් තුළ සිදු වුණේ කුමක්ද කියලා අපි සොයා බැලිය යුතුයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීම අගමැතිවරයා ප්‍රතික්ෂේප කළ පසුව වෙනත් මාර්ගයක් ලෙස ඒකාබද්ධ විපක්ෂය මේ විශ්වාසභංග යෝජනාව ගෙන ආවා. මේ විශ්වාසභංගය අගමැතිට එරෙහිව නොවේ. මෙය ආණ්ඩුවට එරෙහිව ගෙන එන්නක්. විශ්වාසභංග යෝජනාවේම එය සඳහන් වෙනවා. අගමැතිවරයා යොදා ගන්නේ මහා චිත්‍රයේ ඇති අවලස්සන ගතිය අඩු කර ගැනීමටයි. ඒ නිසා මෙය අගමැතිවරයාට එරෙහි දෙයක් ලෙස පෙන්වාදිය නොහැකියි. මේ නිසා මේ විශ්වාසභංගය පරාජය කිරීමට 62 ලක්ෂයක් වු ජනතාව පෙනී සිටිය යුතු වෙනවා. ජනතාව එසේ කළ යුතු වන්නේ අගමැතිවරයාව බේරා ගැනීමට නොව මේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති මාලාව ආරක්ෂා කර ගැනීමටයි. මේ විශ්වාසභංගයට අපි විරුද්ධ විය යුතු වන්නේ ඒ නිසයි.

මැතිරවණය පරාජය වීම මේ විශ්වාසභංගයට ගෙන ඒමට හේතුවක් නම් මුලින්ම විශ්වාසභංගයක් ගෙන ආ යුතු වන්නේ අගමැතිවරයාට නොවේ. මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය සියයට 32ක් ඡන්ද ගත්තා. ශ්‍රීලනීපය අනෙක් අයත් එක්ක සියයට 13ක් විතර ගත්තේ. පරාජය නම් මෙය පිටුපස තිබෙන්නෙ අගමැතිවරයාට කලින් ජනාධිපතිවරයාටයි විශ්වාසභංගයක් ගෙන ආ යුතු වන්නේ. අපි ජනවාරි 8 දේශපාලන සුජාතභාවය තවමත් තිබෙන බවට විශ්වාස කරනවා. ඒ නිසා මේ වෙලාවේ 2015 යහපාලනය ආරක්ෂා කර ගත යුතුයි.

මේ විශ්වාසභංග යෝජනාවේ වැඩි හරියක් ම තිබෙන්නේ බැඳුම්කර මගඩියට අගමැතිවරයා සම්බන්ධ යැයි වූ චෝදනායි. අගමැතිවරයාගේ විනිශ්චය වැරදියි. නමුත් විශ්වාසභංගය ගෙන එන අයට තිබෙන සුදුසුකම් මොනවාද කියලා අපි අවධානය යොමු කළ යුතුයි. යුක්රේනයේ තානාපති ලෙස උදයංග පත් කරන්නේ කවුද? මොහු මිග් යාන මිලදී ගැනීම හා අලුත්වැඩියාකිරීම සම්බන්ධයෙන් යුක්රේනය සමඟ හොර ගිවිසුමක් ගසා තිබෙන බව දැන් හෙළි වෙලා තිබෙනවා. මිග් යානා ගනුදෙනුවට ඩොලර් මිලියන 15 ක් ගෙවා ඇතත් එයට ඩොලර් මිලියන හතයි ගණනක් පමණයි ඇත්තට ගෙවලා තිබෙන්නේ. තවත් මිලියන 7ක් කාගේ හරි සාක්කුවට ගිහින් තිබෙනවා. ඒ නිසා තවත් කෙනෙක් ගැන විශ්වාසයක් නැතැයි කියන්න තරම් මේ විශ්වාසභංගය ගෙන එන අයට ඇති සුදුසුකම් මොනවාද? ජාලිය වික්‍රමසුරිය රට පැනලා. තවත් කෙනෙක්ට ඇගිල්ල දිගු කරන්න කලින් තමන්ගේ වැරදි අවබෝධ කර ගන්න දේශපාලනඥයන්ට පුළුවන් වෙන්න ඕනේ. දෙවැනි වරත් මහබැංකුවේ වංචාවක් සිදු වුණා. දෙවැනි වරත් වරදක් වෙන්න දීලා මගේ නොවේ අමාත්‍යංශය කියලා කියන්න කාටවත් බැහැ. මහබැංකු වරද අතිවිශාලයි එය අගමැතිවරයාට පමණක් සීමා කළ හැකි දෙයක් නොවේ. මේ වංචාවේ ප්‍රධාන චුදිතයන් අද හිරබත් කනවා. ඒකට අයිති දේපළ විකුණන්න බැරි වෙන්න නියෝග දීලා සියලු ක්‍රියාමාර්ග මේ රජය ගත්තා. ජනාධිපති කොමිසන් පත් කළා. ඇමැතිවරයකු ගෙදර යවන්නත් කටයුතු කළා. දැන් කියනවා බැදුම්කර සිද්ධිය නිසා අගමැතිවරයා ගෙදර යා යුතු බව. මේ නිසා තමයි අපි කියන්නේ මෙය බැදුම්කර සිද්ධිය සම්බන්ධ විශ්වාසභංගයක් නොවන බව.

මේ නැති වු බලය යළි ලබා ගැනීමේ දේශපාලන ව්‍යාපෘතියක එක් අදියරක්. මේ විශ්වාසභංගය ඒ අය දිනුවොත් 2015 ජනබලය පරාජයට පත් වෙනවා. මේ නිසා මේ විශ්වාසභංගය තීරණාත්මකයි. එහිදී මහින්ද රාජපක්ෂ දුර්දාන්ත පාලනය පළවා හරින්නට දායක වු සියලු සුළු ජාතික පක්ෂවලට මෙන්ම අනෙකුත් සියලු පක්ෂවලට හා යහපාලනයට උරදුන් පක්ෂවලට එදා පොරොන්දු ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරෙනවා. මේ විශ්වාසභංගයට සමස්ත ඓතිහාසික සිදුවීමක් ආපසු හැරවීමට හැකියාව තිබෙනවා. මේ සැලැස්ම හැදු අයගේ දෙවැනි පියවර රනිල් නැති ආණ්ඩුවක් හැදීමයි. එය දෙපාරක් එකම වලේ වැටීමක් වගෙයි. එයට හසු වන්න එපා කියලා යහපාලන ප්‍රේමී සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය-

මෙය කෘත්‍රිමව නිර්මාණය කරන ලද දේශපාලන අර්බුදයක් තුළ යහපාලන ආණ්ඩුව පරදවා යළි දේශපාලන බලය ලබා ගැනීමේ වුවමනාවෙන් ගෙන ආ දෙයක් බව පෙනෙනවා. මෙයට අස්සන් සියයක් ගන්නවා කියලා සැලසුම් කළත් බැරි වුණා. දැන් මෙය ජයග්‍රහණය කිරීමට ඉත්තෝ රැස් කරනවා. මෙහි තිබෙන්නේ චෝදනා දෙකයි. බැඳුම්කර සිදුවීම හා නීතිය හා සාමය අමාත්‍ය ධුර දරන විට අම්පාර හා දිගන සිදුවීම පමණයි.

නමුත් මේ විශ්වාසභංග ගේන අයගේ කාලයේදී ලලිත් වීරතුංග පත් කිරීම ගැනත් ඒ අයට විශ්වාසභංගයක් ගෙන ආ යුතු වෙනවා. ඒ මිලියන 600ක සිල් රෙදි වංචාවට එරෙහිවයි. ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අත්සනින් මිලියන 800ක් තාත්තාගේ සොහොන හදන්න ලබා දීලා වරද ඔප්පු වෙලා. වැලිකඩ සිදුවීමත් ඒ අයගේමයි. ඇවන්ගාඩ් සිද්ධිය නිසා රටට විශාල මුදලක් අහිමි වුණා. රතුපස්වල වෙඩිතැබීම, ඝාතන, පැහැර ගැනීම් වැනි සිදු වීම් ද තිබෙනවා. මේ ආරක්ෂක ලේකම්වරයා මහින්ද රාජපක්ෂ විසින් පත් කළේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහට පෙර මහින්ද රාජපක්ෂට විශ්වාසභංග කීයක් ගෙන ආ යුතුද,

කළුතර හිටපු ඇමැතිවරයකුට කෝටි 3ක් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙන්ම කුරුණෑගල හිටපු ඇමැතිවරයකුට සතොස භාණ්ඩ මිලදී ගැනීම හා සම්බන්ධ අල්ලස් නඩුවක් තිබෙනවා. නාවලපිටියේ හිටපු ඇමැතිවරයකුට පැමිණිලි කරන්නේ තමන්ගේම බිරිඳයි. දිනේෂ් ගුණවර්ධන මහතාටත් චෝදනාවක් තිබෙනවා. මේ විශ්වාසභංගයට අත්සන් කර තිබෙන්නේ විශ්වාසභංගයක් ගෙන ඒමට සුදුසුකම් නැති මෙවැනි චෝදනා රැසක් තිබෙන අයයි. අපි හිතන්නේ නැහැ මේ රජය වැරදි කරනවා නම් හෙළි දරව් නොකළ යුතුයි කියලා. මේ ආණ්ඩුව තමයි පාලන කාලය තුළ සිදු වු වරදකට සෘජු තීරණ ගත් එකම රජය. එය රටට ඉතා හොඳ ආදර්ශයක් වෙනවා.

එකාබද්ධ විපක්ෂය මේ විශ්වාසභංගය හරහා ගෙන එන චෝදනා සාපේක්ෂ වශයෙන් පිළිගත නොහැකියි. මේ විශ්වාසභංගය පළමු අදියර වන අතර දෙවැන්න කතානායකවරයාටත් තුන් වැන්න ජනාධිපතිවරයාටත් එරෙහිව විය හැකියි. මේ අභිලාෂය විනාශකාරී විය හැකියි. එමඟින් හංසයාගේ ජයග්‍රහණය විනාශ වෙනවා. එදා හංසයාගේ ජයග්‍රහණයට උරදුන් කිසිම පක්ෂයකට මේ විශ්වාසභංගයට පක්ෂව අත උස්සන්න බැහැ. එදා ශ්‍රීලනීපය ගිවිසුම් අත්සන් කළේ එකට වැඩ කරන්න. ඒ ගිවිසුම්වල එක් එක්කෙනාට අස් වෙන්න කියන කොන්දේසි නැහැ. ඒ නිසා මේ මොහොතේ ශ්‍රීලනීපය කියනවා නම් අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්න කියලා එය සදාචාර සම්පන්න නැහැ. ගෙදර යන්න කියලා ජනතාව තීන්දු දීපු අය පාර්ලිමේන්තුවට ඇවිත් මෙයට අත්සන් කිරීම වැරදියි. මේ ක්‍රමන්ත්‍රණ යන්නේ රටේ අර්බුදයක් මතු කරන්න මිස වෙනත් දෙයක් නොවේ. මේ ආණ්ඩුවේ සිටින තෙක් ශ්‍රීලනීපයට විශ්වාසභංගයට අත්සන් කිරීමේ අයිතියක් නැහැ.

දඹර අමිල හිමි, - මේ විශ්වාසභංගය ගේන්නේ ජනවාරි 8 සහ අගෝස්තු 17 ජයග්‍රහණ නිසා අනාථ වු තමන්ගේ දේශපාලන, ආර්ථික, බල හා කුපාඩිකම් ඉටු කර ගැනීමේ අරමුණ ජයග්‍රහණය කර ගැනීමටයි. වාසි අහිමි වු සකලවිධ බලවේග මෙයට පෙළ ගැසී සිටිනවා. මේ ජයග්‍රහණය නිසා හතරගාතේ වැටුණේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමයි. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති, සුරාකෑම්, මංකොල්ලකෑම්, කීර්තිය, ආර්ථිකකරණය, ජාත්‍යන්තර හුදකලා කීරීම්, ජාතිවාදය, ආගම්වාදය, පක්ෂ බෙදා වෙන් කිරීම, නිකාය බෙදීම වැනි සකලවිධ අපරාධ මේ අය සිදු කළා. ඒ නිසා මහින්ද රටට හතුරෙක් කියලා අපි පෙන්වා දීමට කටයුතු කළා. ඒ අනුව ජනතාව අපි කියන දේ අහලා 2015 දී තීරණයක් ගත්තා. එදා මහින්ද සංස්කෘතියත් සම්පුර්ණයෙන් නවතා දැම්මා. දේශද්‍රෝහී වැඩ සියල්ල නතර වුණා. අපි හොරු අල්ලනවා කියලා යම් වැඩපිළිවෙළක් කළා. මේ නිසා මේ අය කරපු පව්වලට වන්දි ගෙවන්න වෙනවා කියලා මේ අය දැන ගත්තා. මේ අයගේ මහෝශාඛ්‍ය හැසිරීම නතර වුණා වගේම එය දරා ගන්නත් බැරි වුණා. අගෝස්තු 17 ත් තවත් මේ තත්ත්වය බැරූරුම් වුණා. මැදමුලනේදී ජනේලයේ එල්ලිලා තමන් ජනතාව එක්ක ඉන්න බව කිව්වේ මහජනයාගේ අස්සේ හැංගිලා තමන්ගේ අපරාධ වහගන්න කටයුතු කළා. ඒ අනුව මහජන පවුරක් හදා ගත්තේ ආපහු එනවා කියන මතය දීලා. සුඛවිහරණය නැවත ලබා දෙන බවට වටේ ඉන්න අයටත් පණිවිඩය දුන්නා. මම එනවා කියන එක හරහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලටත් පණිවිඩයක් දුන්නා. ඒ අනුව ශ්‍රීලනීප මැති ඇමැතිවරුන් ද මහින්ද ප්‍රබලයි කියන තැනට ගෙනාවා. මෛත්‍රීට වඩා පොහොට්ටුව ප්‍රබලයි කියන තැනට ගෙනාවා. පා ගමන්, සයිටම් සටන, කුණු කන්ද, උමා ඔය මේ සියල්ල පිටු පස ඔහු සිටියත් ඒවා වෙනුවෙන් තමන් පෙනී සිටින බව පෙන්නුවා. මේ විශ්වාසභංගය ගේන්නේ ආණ්ඩුව පරද්දලා බාර ගන්න නොවේ. ඔහුට අවශ්‍ය ඔහු හා පිරිස කෙරෙහි ඇති අවධානය වෙනත් පැත්තකට යොමු කරවීමටයි. තමාගේ න්‍යාය පත්‍රය ආණ්ඩුව ලවා ක්‍රියාත්මක කරවන්නයි අවශ්‍ය වෙලා තිබෙන්නේ.

මහින්දට අවශ්‍ය වන්නේ රනිල්ගේ ප්‍රබලත්වය නැති කිරීමයි. ඒ නිසා යු.එන්.පී. ශ්‍රී ලංකා දීගේ කඩන්න උත්සහ කළා. ඒ අනුව යහපාලන රජයේ සමඟියක් නැති බවට මතයක් ඉදිරිපත් කළා යැයි කීහ.

මෙහිදී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය ටෙරන්ස් පුරසිංහ මහත්වරු ද අදහස් දැක්වුහ.

සමන්මලී ප්‍රියශාන්ති - නිලක්ෂිකා මාන්නපෙරුම
ඡායාරූපය - රොෂාන් පිටිපන

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();