බිංගිරිය රාජ මහා විහාරයේ දී
අධ්‍යාත්මික සංවර්ධනයට මූලිකත්වය දෙමින් පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථානයේ දී අප්‍රේල් මස 28 දා ආරම්භ කෙරේ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය මෙසේ නිල වශයෙන් ආරම්භ කෙරෙන රාජ්‍ය වෙසක් උළෙල 28 හා 29 දෙදින පුරා පැවැත්වෙයි.
මෙවර වෙසක් උත්සවය 'චිත්තං දන්තං සුඛාවහං' (දැමුණු සිත සුව ගෙන දේ) තේමාව මුල්කර ගනිමින් පැවැත්වෙන අතර ගමේ පන්සල අධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කර ප්‍රඥාවන්ත බෝසත් සමාජයක් සැකසීම ඇරඹීම මෙවර උළෙලේ ප්‍රධාන අරමුණ බවට පත්ව ඇති බව බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැති ජයවික්‍රම පෙරේරා මහතා එම අදහස් පළ කෙළේය.
ලබන 26 සිට මැයි මස 2 දා දක්වා වෙසක් සතියක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන අතර 26 දාඋදෑසන පහට වෙසක් සතියේ සමාරම්භය දේවගිරි රජමහා විහාරයේ දී සිදුවෙන අතර, 28 දහවල් 1.45ට රජ්‍ය වෙසක් උළෙල ඇරඹේ. 29 දා පෙහෙවස් සමාදන් කෙරේ. 29 සිට 02 දා දක්වා අධ්‍යාපනික වැඩසන් පැවැත්වෙන අතර දෙවන දා රාත්‍රී පහන්වන තෙක් සූවිසි විවරණය පවත්වා උදෑසන සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.
එම සතිය පුරා සිදු කෙරෙන ආගමික හා ජාතික වැඩසටහන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මෙසේ ද කීය.
ශ්‍රී ලංකාවේ බුදු දහමට ප්‍රමුඛතාව ලබාදෙමින් එය ආරක්ෂා කිරීමට කුමන ආගමිකයකු වුවත් අප සෑම දෙනෙක්ම බැඳී සිටිනවා. ථෙරවාදී බුදු දහම ආරක්ෂාවී ඇති එකම රට අපේ රට වන අතර ගිහි පැවිදි සැම දෙනෙකුම එම දහම ආරක්ෂා කිරීමට ක්‍රියා කළ යුතුයි. සමාජ ප්‍රශ්න, මත්ද්‍රව්‍ය හා මත්පැන් වැනි විෂමාචාර ගැටලු විසඳා ගැනීමට බුදු දහම මූලික කර ගනිමින් විසඳුම් සෙවිය යුතුයි.
මේ සඳහා මහ නායක හිමිවරු ඇතුළු ගිහි පැවිදි බුද්ධි මණ්ඩලයක් මගින් සාකච්ඡා කර තීරණයකට එළඹිය යුතුව තිබෙනවා. ථෙරවාදී සම්ප්රදාය ආරක්ෂාකර ගනිමින් බුදු දහම ඉස්ලාම් කිතුණු ඇතුළු සියලු ආගම් අනුව දහම්පාසල් තව දුරටත් ස්ථාපිත කරමින් සමාජ සාරධර්ම ආරක්ෂාවන, සහජීවනයෙන් යුතු සමාජයක් සැකසීමත් ඒ අනුව අනාගත පරපුර දැහැමි සෞඛ්‍ය සම්පන්න පිරිසක් කිරීමත් , විශේෂයෙන් පරිසරයට ආරක්ෂාකර ගැනීමත් මේ වෙසක් සතියේ දී අප කළ යුතු කාර්යයන් අතර ප්‍රමුඛතාව දැක්විය යුතුයි.
මෙවර ජාතික වෙසක් උළෙල ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා . ඒ අනුව 29 වෙසක් පුර පොහෝ දිනයේ දී ආගමික වතාවත්වල පමණක් යෙදෙමින් කටයුතු කරන ලෙසත් ඉන් පසුව තොරණ පැවැත්වීම් කූඩු ප්‍රදර්ශන නාට්‍ය රඟ දැක්වීම් ආදිය සිදු කරන ලෙසත් විශේෂයෙන් ඉල්ලා සිටිනවා.
වෙසක් සතියේ දී කිසිවකුටත් හිංසා නොවන ලෙස හැසිරීමටත් සිතට ගත යුතු වැදගත් කරුණක්.
බුදු දහමට අනුව තිරසර පරිසරයක්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්, යහපත් වෘත්තියක් සහිත ජීවන රටාවක් පවත්වා ගෙන යාම පිළිබඳවත්, බුදු දහමින් පෝෂිත හෙළ කලාව පවත්වාගෙන යාමට කළ යුතු කාර්යයන් පිළිබඳ මෙවර වෙසක් සතියට සමගාමීව සොයා බලා ක්‍රියාවට නැංවීමට නියමිතයි. සමාජ සංවර්ධනය හා ආර්ථිකය සමඟ බුදු දහම ඉස්මතු කිරීම සඳහා ද වෙසක් සතියේ එක් දිනක් යොදා ගන්නවා.
වෙසක් මහෝත්සවය නිමිතිකර ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ප්රත්යෙව්ක්ෂා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් 150ක් සංවිධානය තිබෙනවා. ඒ අතර ජංගම සේවා, දහම්පාසල් ගුරු පුහුණුව, සෞඛ්‍ය හා බුදු දහම සම්බන්ධ වැඩසටහන්, භාවනා , වෘත්තිකයන් හා බුදු දහම පිළිබඳ වැඩසහටන්, සාමණේර ස්වාමීන් වහන්සේ පුහුණුව, මවු පිය දූ දරු සෙනෙහස මුල්කර ගත් වැඩසටහන් ආදී කාර්යයන් රැසක් සිදු කිරීමට සංවිධානය කර තිබෙනවා. බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලියක්, භක්ති ගීත සමඟ බුදු දහමින් පොෂිත සිංහල සාහිත්‍ය හා හෙළ කලා වැඩසටහන් , සාරධර්ම පෙරහර, තිරසර පරිසරයක් සඳහා බුදු දහම, සත් කෝරලයේ විහාර වංශය ලිවීම, පැරණි පුස්කොළ පොත් සංරක්ෂණය, විශේෂ ධර්ම දේශනා හා පිණ්ඩපාත පින්කම්, සිල් මාතා පුහුණු ඇතුලු සමාජ සංවර්ධනය හා බුදු දහම තේමා යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා.
මේ අනුව රාජ්‍ය වෙසක් උළෙලට සමගාමීව අධ්‍යාත්මක මෙන්ම භෞතික සංවර්ධන වැඩසටහන් රැසක් සිදු කෙරෙනවා.
මීට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දහම් පාසල් 300ක් සංවර්ධනය කරන අතර විහාරස්ථාන 250ක් සංවර්ධනය කෙරෙනවා. දහම් පාසල් 500කට ශිෂ්‍යාධාර ලබා දෙන අතර මතින් තොර සාරධර්ම සපිරි බෞද්ධ නායකයන් බිහි කිරීම සඳහා කල්‍යාණ මිත්‍ර සංසද පිහිටුවීම ද සිදු කෙරෙනවා. අඩු ආදායම් ලාභී බෞද්ධ පවුල් නඟා සිටුවීම ද මෙයි එක් පරමාර්ථයක්.
වෙසක් සතියේ දී පහන් කූඩු ප්‍රදර්ශනය, අධ්‍යාපනික, සංස්කෘතික හා පුරා විද්‍යාත්මක ප්‍රදර්ශන, බොදු සිතුවම් හා ඡායාරූප ප්‍රදර්ශන සහ ජාතක කතා තේමා කරගත් වයඹට ආවේණික ජන නාට්‍ය ද පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා. බිංගිරිය දේවගිරි රාජමහා විහාරාධිපති මලඟනේ අත්තදස්සි හිමියෝ, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් නිමල් කොටවලගෙදර මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.
0 Comments