Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්ධනවලට මිල සූත්‍රයක්

Author(s): 
ජයසිරි මුණසිංහ

ජාත්‍යන්තර ඛනිජ තෙල් මිල ගණන් මේ වන විට ඉහළ යාමට පටන්ගෙන ඇති නිසා පාරිභෝගික ජනතාවට වාසි සලසා දීමේ අරමුණින් ඉන්ධන සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට මහා භාණ්ඩාගාරය මේ වන විට කටයුතු කරමින් සිටින බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිනමිණ’ ට ප්‍රකාශ කළේය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ පහළ යන විට මෙරට ද ඉන්ධන මිල ගණන් ඉහළ පහළ යාමට හැකිවන සේ මෙම මිල සූත්‍රය සති දෙකක් ඇතුළත සකස්කොට ඛනිජ තෙල් අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමුකරන බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.

මේ අනුව මහා භාණ්ඩාගාරය සකස් කරන මිල සූත්‍රයට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු පසු එය ඇමැති මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද එම නිලධාරියා සඳහන් කෙ‍ෙළ්ය.

වසර 2015 ජනවාරි 08 වන දා බලයට පත් රජය දින සියයේ වැඩපිළිවෙළ යටතේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා පැට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ගෘහස්ථ ගෑස් මිල සැළකිය යුතු ලෙස අඩු කළේය. එසේ සිදුකිරීමට එවකට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීම හේතු විය. නමුත් මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා තවදුරටත් අඩු මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවට ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුකළ නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

ඒ නිසා ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යන විට දේශීය වෙළෙඳපොළේ මිල ඉහළ නැංවීමටත්, ලෝක වෙළෙඳපොළේ මිල පහළ යන විට දේශීය වෙළෙඳපොළේ මිල පහළ දැමීමටත් හැකිවන පරිදි මෙම මිල සූත්‍රය හඳුන්වා දෙන බව මෙම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ගෘහස්ථ ගෑස් මිල ගණන් ද ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ පහළ යන විට දේශීය වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ පහළ යාමට හැකිවන පරිදි ගළපා ගැනීමට ඉදිරියේදී ඒ සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවරගත යුතුව ඇතැයි ද එම නිලධාරියා පැවසීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();