Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනධ්‍යයන සේවකයෝ අද රාජකාරියට

සමන්මලී ප්‍රියශාන්ති, බෙලිහුල්ඔය සමන්තා කංකානම්ගේ

සිය ඉල්ලීම්වලට සාධාරණ විසදුමක් ලබාදීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය කටයුතු කළ බැවින් අද (17) සිට නැවත රාජකාරී සඳහා වාර්තා කිරීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් තීරණය කර තිබේ.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී අනධ්‍යයන සේවකයන්ගේ ප්‍රධාන ඉල්ලීම වු මාසික හිලව් දීමනාව සියයට 10 කින් වැඩි කිරීමට එකඟ වී ඇති අතර ඊට අදාළ චක්‍රලේඛය ඉකුත් 12 වැනිදා නිකුත් කිරීමට ද කටයුතු කර ඇත.

ඒ අනුව එදින ම අනධ්‍යයන සේවකයන් සිය වැඩවර්ජනය නිම කර ඇති අතර අවුරුදු නිවාඩුවෙන් පසු අද (17) සිට නැවත සිය රාජකාරී සඳහා වාර්තා කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා දිනමිණට පැවසීය.

දැනට මුලික වැටුපෙන් සියයට 35 ක ප්‍රමාණයක් ලෙස ගෙවනු ලබන මාසික හිලව් දීමනාව මෙ අනුව තවදුරටත් සියයට 10 ක ප්‍රතිශතයකින් වැඩි කිරීමට අදාළව චක්‍රලේඛය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ විශ්‍රාම වැටුප ගෙවීම, පොදු රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම වැනි අනෙකුත් ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යයනය කර සුදුසු විසඳුම් ලබාදීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්‍යාංශය හා වෘත්තීය සමිතිය අතර එකඟතාවක් ද ඇති ව තිබේ.

මෙම වැඩවර්ජනය දින 47 ක කාලයක් පැවැති අතර මේ නිසා සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ඇණ හිට තිබිණි.

මෙම දින ගණනාව තුළ සිදු වු අඩුපාඩු හැකිතාක් දුරට නිවැරදි කර කඩිනමින් විශ්වවිද්‍යාල කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට උපරිමයෙන් කැප වන ලෙස සියලු අනධ්‍යයන සේවකයන්ට දැනුම් දී තිබෙන බවද මල්වත්තගේ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය විසින් නිවේදනයක් ද නිකුත් කරමින් අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට රජය කටයුතු කර තිබෙන බැවින් සියලු සේවකයන්ට මෙම 17 හෝ ඊට පෙර රාජකාරී සඳහා වාර්තා කරන ලෙස දැනුම් දීමක් ද කළේය.

එසේ රාජකාරී සඳහා වාර්තා නොකරන පරිවාස, අනියම්, තාවකාලික, ආදේශක, සේවා පැවරුම්, පුහුණු වන හා කොන්ත්‍රාත් පදනමේ සේවකයන් සේවය අත්හැර ගියා සේ සලකන බවත් ස්ථීර සේවකයන් වර්ජනයේ නිරත කාල සීමාව තුල වැටුප් රහිත කාලසීමාවක් ලෙස සලකන බවත් එම නිවේදනයෙන් සඳහන් කර තිබිණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();