වසර 2017ට වඩා 2018 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් සිදුවෙතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය.
මේ වසර නිමාවන විට සියයට 05ක ආර්ථික වර්ධනයක් සිදුවනු ඇතැයිද අධිපතිවරයා කීය. වසර 2017 දී මෙරට ආර්ථිකය සියයට 3.1ක අගයක් ගනිමින් මන්දගාමී වර්ධනයක් අත්කරගෙන ඇතැයිද මහ බැංකු අධිපතිවරයා සඳහන් කෙළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ කරුණු ඇතුළත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 2017 සඳහා ඉදිරිපත් කරන වාර්තාව එළිදැක්වීමෙන් අනතුරුව කොළඹ මහ බැංකු මූලස්ථානයේ ඊයේ (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අධිපතිවරයා එසේ කීය.
වසර 2018 රටේ ආර්ථිකය සියයට 05කින් වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් බලපාන බව පැහැදිලි කළ අධිපතිවරයා මන්දගාමී වූ කෘෂිකර්මාන්තය නැවත යථා තත්ත්වයට පත්වීම, කර්මාන්ත හා සේවා අංශයේ පිබිදීමක් සිදුවීම ඒවා බවද කීය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ සංචිතය මේ වනවිට ගොඩනැඟී ඇතැයි කී අධිපතිවරයා, එය ඩොලර් බිලියන 9.98ක් බවද කීය. වසර 2016දී ඩොලර් බිලියන 06ක් වූ විදේශ සංචිතය, 2017දී ඩොලර් බිලියන 08ක් වූ බව කීය.
වසර 2017 දී රටට ඉහළම අපනයන ආදායම ලැබුණු බවත්, ඉහළම සෘජු විදේශ ආයෝනය දිනාගැනීමට හැකි වූ බවත් අධිපතිවරයා පැහැදිලි කළේය.
උද්ධමනය තනි මැද ඉලක්කමකට පාලනය කර ගැනීම සහ අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.5ක මට්ටමින් තබා ගැනීමට මූල්‍ය ප්‍රතිපත්ති සමත් වූ බවද අධිපතිවරයා පැහැදිලි කෙළේය.
ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීමට ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කොට නව ආයෝජන හා අපනයන ආදායම් වැඩි කරවන දිරිගැන්වීම් ලබාදෙන බවද අධිපතිවරයා කීය.
ශ්‍රී ලංකාවට ඉදිරියේ දී වැඩි ආයෝජන ප්‍රමාණයක් හිමිවන විදේශීය ආයෝජන හම්බන්තොට වරාය ආශ්‍රිතව හා වෙනත් ප්‍රදේශවලට ගලා එනු ඇතැයි ද එය ඩොලර් බිලියන 04ක් පමණ වනු ඇතැයිද අධිපතිවරයා මෙහිදී අනාවරණය කෙළේය.
වසර 2017 මුල් කාර්තුවේ පැවැති නියඟය හා ගංවතුර තත්ත්වය මත කෘෂි කර්මාන්තයේ බිඳවැටීමක් සිදු වූ බව පැහැදිලි කළ අධිපතිවරයා මේ වනවිට ඉන් අප මිදී ඉදිරියට එන වාතාවරණයක් දක්නට ඇතැයි කීය.
රටේ අපනයන ආදායම් වැඩි වූවා සේම ආනයන වියදම්වලද විශාල ඉහළයෑමක් වසර 2017 දී සිදුවූ බව කී අධිපතිවරයා, ඉන්ධන පිටරටින් ගෙන්වීමට සහල් හා රත්‍රන් ආනයන කිරීමට වැය වූ මුදල් ප්‍රමාණය වැඩිවීම ඊට හේතු වූ බව පැහැදිලි කෙළේය.
ශ්‍රී ලංකාව ලබා ගන්නා විදේශ ණය ගෙවීමේදී එක්සත් ජනපද ඩොලර්වලින්ම එය සිදු කළ යුතු බැවින්, රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩි කර ගැනීමට අප කටයුතු කළ යුතු යැයිද අධිපතිවරයා කීය.
මේ අවස්ථාවේදී මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද අදහස් දැක්වූවේය. නියෝජ්‍ය අධිපතිවරුන් වන කේ.ඩී. රණසිංහ, සී.ජේ.පී. සිරිවර්ධන යන පිරිස ප්‍රධාන මහ බැංකුවේ උසස් නිලධාරීහු මීට එක්ව සිටියහ.


0 Comments