සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පෙරේදා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 82ක ජයක් අත්කර ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.
මේ සමග තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2-0කින් ජය ගැනීමට සත්කාරකයන්ට හැකිවිය.
තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 3ක් දැවී ලකුණු 205ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය කොදෙව් පිල ඉනිම නිමාවීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී ලකුණු 123කට දැවී ගියේය.
චැඩ්වික් වෝල්ටන් ලකුණු 40ක් රැස්කරමින් කොදෙව් පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වු අතර දිනේෂ් රාම්ඩීන් ලකුණු 21ක් ඉනිමට එක් කළේය. සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව ඉක්මවීමට පාකිස්තාන පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි. පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් කඩුලු 3ක් දවාගත් අතර හුසේන් ටලට් සහ ෂදාබ් ඛාන් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.
පළමුව පන්දුවට පහරදීමට පැමිණි පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෆකාර් සමාන් (6) ලකුණු 11ක් වෙද්දි දැවී ගිය අතර බාබර් අසාම් සමග එක්වූ හුසේන් ටලට් මුළු ලකුණු සංඛ්‍යාව 130 දක්වා ඉදිරියට ගෙන ගියේය. ටලට් දැවී යනවිට සිය මංගල විස්සයි20 අර්ධ ශතකය ලෙස ලකුණු 63ක් රැස්කරගෙන සිටියේ හතරේ පහර 8ක් හා හයේ පහරක් සමගින් පන්දු 41කිනි.
විශිෂ්ට ඉනිමක් දියත් කළ අසාම් ඉනිම නිමාවනවිට ශතකයට ලකුණු 3ක් පසුපසින් සිටියේය. සිය විස්සයි20 තරගයේ දිවියේ සිවුවැනි අර්ධ ශතකය මෙන්ම ඉහළ ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ඔහුගේ ඉනිම හතරේ පහර 13කින් හා හයේ පහරකින් වර්ණවත් විය. ඊට වැයවූයේ පන්දු 58ක් පමණි. ඔහු තරගයේ වීරයා ලෙසද නම් කෙරිණි.
සොයිබ් මලික් පන්දු 7කින් ලකුණු 17ක් හා අසිෆ් අලි පන්දු 8කින් ලකුණු 14ක් ඉනිමට එක් කළහ.
දෙපිල අතර පැවැති පළමු තරගයෙන් පාකිස්තානය ලකුණු 143ක දැවැන්ත ජයක් අත්කරගත් අතර තෙවැනි හා අවසන් විස්සයි20 තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.
පාකිස්තානය - 205/3 (ඕවර 20) බාබර් අසාම් නොදැවී 97, හුසේන් ටලට් 67
කොදෙව් - 123 (ඕවර 19.2) චැඩ්වික් වෝල්ටන් 40, දිනේෂ් රාම්ඩීන් 21 (මොහොමඩ් අමීර් 22/3, හුසේන් ටලට් 12/2, ෂදාබ් ඛාන් 23/2)
0 Comments