දකුණු අප්ර්රිකා පිලට ලකුණු 322ක ජයක් ලබාදෙමින් නිමාවට පත්වූ කේප් ටවුන් නුවර තුන්වැනි ටෙස්ට් තරගය අතරතුර දී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට හසුවූ ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිලේ නායක ස්ටීවන් ස්මිත් වහාම තනතුරෙන් ඉවත් කරන ලෙස ඔස්ට්‍රේලියා රජය එරට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටී.
මේ සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට හා ඔස්ට්‍රේලියා පිලේ නායකයාගෙන් කරුණු විමසීමට එරට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් දකුණු අප්‍රිකාව බලා පිටත්යාමෙන් පැය කිහිපයකට පසුව එරට රජය මේ ඉල්ලීම කර තිබේ.
ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුවේ ප්‍රධානී අයින් රෝයි සහ කණ්ඩායමේ දස්කම් පිළිබඳ කලමනාකරු පැට් හොවාර්ඩ් මේ වනවිට ස්මිත්, වෝනර් සහ බැන්ක්‍රොෆ්ට්ගෙන් මෙන්ම පුහුණුකරු ඩැරන් ලීමන්ගෙන් කරුණු විමසීම ආරම්භ කර තිබේ.
පරීක්ෂණය අවසානයේ රෝයි විසින් ඉදිරිපත් කිරිමට නියමිත වාර්තාවට අනුව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන නීති ප්‍රකාරව ස්වාධීන කොමසාරිස්වරයකු විසින් මේ සම්බන්ධව අවසන් තීන්දුව දීමට නියමිතය.
මෙවැනි වරදකට හසුවන ක්‍රීඩකයන්ට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන නීතිරීතිවලට අනුව උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා තරග තහනමකි. ඒ අනුව ස්ටීවන් ස්මිත් එම අවදානමට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි.
මේ අතර එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් පිලේ නායකයා ලෙස පත්වී සිටි ස්මිත් එම තනතුරෙන් ඉවත් කිරීමට එම කණ්ඩායමේ අවධානය යොමුවී තිබේ. මේ පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණය ලැබීමෙන් පසුව එම පියවර ගැනීමට නියමිතය.
තරගයේ තුන්වැනි දිනයේ දී දකුණු අප්‍රිකා පිල පන්දුවට පහරදෙමින් සිටින අතරතුර ඔස්ට්‍රේලියා පිලේ ආරම්භක පිතිකරු කැමරොන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කරන අයුරු රූපවාහිනි දර්ශන මගින් තහවුරු වූ අතර පසුව ඔස්ට්‍රේලියා පිලේ නායක ස්ටීවන් ස්මිත් කියා සිටියේ තමා ඒ පිළිබඳ වේලාසනින් දැන සිටි බවය.
මේ සම්බන්ධව මූලික පරීක්ෂණ සිදුකළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නායක ස්මිත්ට එක් ටෙස්ට් තරග තහනමක් පැනැවීමටත්, ඔහුගේ සම්පූර්ණ තරග මුදලම දඩයකට යටත් කිරීමටත් පියවර ගෙන තිබිණි. නායකයාගේ අනුදැනුම සහිතව පන්දුව පළුදු කළ බැන්ක්‍රොෆ්ට්ගේ තරග මුදලින් 75%ක දඩයක් පනවා තිබේ. මේ වරද පිළිගත් නායක ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් සිය තනතුරුවලින් පෙරේදා ඉවත්වූහ.
ෆවුස් මොහොමඩ්
0 Comments