සිංහල-දෙමළ-මුස්ලිම් දරුවන්ට එකම පාසලක ඉගැන්විය යුතුයි
යම් යම් දේශපාලනඥයන් සිංහල ජනතාව සමඟ එකට අධ්‍යාපනය ලද දෙමළ හා මුස්ලිම් සිසුන් වෙන් කරමින් ඔවුන්ට වෙනම පාසල් ඇති කිරීම ගැටලුවලට මුල් වූ ප්‍රධාන කාරනයක් බව මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවසූහ.
සිංහල දරුවන් සමඟ දෙමළ හා මුස්ලිම් දරුවන් එකට එකම පාසලේ අධ්‍යාපනය ලබාත් දී ඔවුන් අතර ඉතා විශාල බැඳීමක් ඇතිවන බවත් අද එම බැඳීම් දුරස්ව ගොස් තිබෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
රිදීගම නගරයේ මුස්ලිම් ජනතාව ව්‍යාපාරික කටයුතු සිදු කරන්නේ සිංහල භාෂාවෙන් බවත් ඔවුන් වෙනත් ජාතියක අය කියා නොදැනෙන තරමට ඔවුන් සිංහල ජනතාවට සමීප බවත් මහානායක හිමියෝ පැවසුහ.
ඒ හිමියෝ මේ බව පැවසුවේ පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (15) උන්වහන්සේ මුණ ගැසුණු අවස්ථාවේදී ය.
අන්තවාදී අදහස් දරන අය දෙපැත්තේම සිටින බවත්
මෙම ගැටම් තමන්වහන්සේ කිසිසේත් අනුමත නොකරන බවත් මෙය සමාජයේ කැකැරෙමින් තිබූ ප්‍රශ්නයක් බව අමතක නොකළ යුතු බවත් කී මහනාහියෝ නියම අවස්ථාව බලා අන්තවාදීන් සුළු පිරිසක් ගිනි අවිලූ බවද අවධාරණය කළහ.
නිදහස ලබා ගැනීම සඳහා සිංහල ජනතාව සමඟ මුස්ලිම් හා දෙමළ ජනතාවද එකට එක්ව ක්‍රියා කළ නමුත් නිදහස දිනා ගැනීමෙන් අනතුරුව එම බැඳීම පවත්වා ගෙන යෑමට අවශ්‍ය පසුබිය ඇතැම් දේශපාලනඥයන් ඇති නොකළ බවත් මහනාහිමියෝ ප්‍රකාශ කළහ.
පැවිදි දිවියට එළැඹි මුස්ලිම් ජාතික දරුවෙක් පසුව උපවැදි වූ බවත් ඊට හේතුවී තිබුණේ දරුවාගේ මවුපියන්ට මුසිලිස් සමාජයෙන් නිතර එල්ලවූ බලපෑම් බවත් කී මහනාහිමියෝ මෙවැනි කාරනා කෙරෙහි ද මුස්ලිම් ජනතාවගේ අවධානය යොමුවිය යුතුව ඇතැයි පැවසූහ.
ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස සෑම ජාතියකටම තිබිය යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
අන්තවාදී සංවිධාන ලෝකයේ විවිධ රටවලට ගොස් මුස්ලිම් ජනතාවගේ මනස විකෘති කරමින් ත්‍රස්තාවාදය ඇති කිරීමට කටයුතු කළත්, ශ්‍රීලංකාවේ මුස්ලිම් ජනතාව එවැනි සංවිධානවලට රටේ ක්‍රියාත්මක වීමට කිසිසේත් ඉඩ නොතබන බවත්, ඔවුන් සෑම විටම සිංහල ජනතාව සමඟ සමඟියෙන් හා සහයෝගයෙන් කටයුතු කරන බවත් පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා මල්වතු මහ නායක හිම්යන් හමුවෙහි පැවසීය.
මුස්ලිම් ජනතාව කිසිදු අවස්ථාවක රටේ කොටසක් ඉල්ලා නොමැති බවත් ජාතිවාදී පිරිස් මුස්ලිම් ජනතාව අතර පමණක් නොව සිංහල හා දෙමළ ජනතාව අතරත් සිටින බවත් ඒ මහතා කීය.
මෙම ගැටුම් ඇති කිරීම පිණිස මුල් වූ සුළු පිරිස සිංහල හා මුස්ලිම් ජනතාව අතර විරසකයක් ගොඩනැගීමට උත්සහ කරමින් සිටින බවත් පවතින දුර්මත සමාජයෙන් ඉවත් කිරීම සඳහා ආගමික නායකයන්ගේ, දේශපාලනඥයන්ගේ හා සිවිල් ක්‍රියාකාරීන්ගේ එකමුතුවකින් පුළුල් කතිකාවක් ඇතිවිය යුතුව තිබෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මහනුවර මීරාමක්කම් මුස්ලිම් පල්ලිය ස්ථාපිත කර තිබෙන්නේ දළදා මාලිගාවට අයත් ඉඩමක බවත් අතීතයේ පටන් මහනුවර සිංහල හා මුස්ලිම් ජනතාව අතර සබඳතා පැවැතියේ ඒ ආකාරයෙන් බවත් කී ඒ මහතා සිංහල රජ දවස පටන් පැවැති මේ සබඳතාවට යම් කැලලක් පසුගිය දා මහනුවර ඇති වූ ගැටුම්වලින් සිදුවූ බවද අවධාරණය කළේය.
ෆෙස් බුක් මගින් එක් ජාතියක් තවත් ජාතියකට එරෙහිව වෛරී කිරීම සඳහා කටයුතු දියත් වූ නිසා එයට යම් යම් සීමා පැනවීමට සිදුවූ බවත් රජය ෆේස්බුක්වලට අවතීරණ වීමට ඇති අවකාශ අහෝසි කළේ මේ නිසා බවත් මුස්තාපා මහතා කීය.
0 Comments