Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ වරාය සාමූහිකව කටයුතු කිරීමේ සැලැසුම් සහගත වැඩපිළිවෙළක් ඇරැඹුවා

Author(s): 
චන්ද්‍රිකා පෙරේරා

ලොව විශාලතම වරාය පනහ අතර 23වැනි ස්ථානය දිනාගනිමින් අන්තර් ජාතික වරායන් අතර ඉහළ ස්ථානයක් දිනාගෙන ඇති කොළඹ වරාය කාර්යක්ශමතාවය මත අන්තර් ජාතික වශයෙන් ජය ගැනීමේ ඉදිරි පියවරක් තබමින් සාමූහිකව කටයුතු කිරීමේ සැළසුම් සහගත වැඩපිළිවෙළක් ඇරඹූ බව වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය

මීට සමගාමීව කොළඹ වරාය ජයබහළු පර්යන්තයේ නෞකා දෙකක් එකවර නැවැත්වීමට හැකි වන පරිදි සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඒ සඳහා මේ දිනවල ටෙන්ඩර් කැඳවා ඇති බවද සඳහන් කෙළේය.

මේ අනුව බහළු මෙහෙයුම් කටයුතු ප්‍රවර්ධනය කිරීම වැදගත්ම හා වඩාත් ප්‍රමුඛ කාර්යවන බවත් ඒ සඳහා කොළඹ වරායේ පර්යන්ත ත්‍රිත්වය එකට වැඩ කිරීමේ සාමූහික ගිවිසුමකට අස්සන් තැබූ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කොළඹ වරායේ සීඒජීටී , සීඅයිසීටි හා ජයබහළු පර්යන්ත තුන සාමූහිකව කටයුතු කිරීම සඳහා වූ එකඟතා ගිවිසුම අස්සන් කිරීමේ අවස්ථාවට එක් වෙමින් මහින්ද සමරසිංහ මහතා එම අදහස් පළ කෙළේ ය.

ශ්‍රී ලංකා වරාය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පෙරේදා (14) එම එකඟතා ගිවිසුම නිල වශයෙන් අස්සන් කරන ලදී.

එහිදී ඇමැති මහින්ද සමරසිංහ මහතා මෙසේ ද කීය.

ලෝකයේ වර්තමාන ප්‍රවාහන කටයුතු සඳහා විශාල නෞකා යෙදා ගැනීම හේතුවෙන් කොළඹ වරාය සතු ජයබහළු පර්යන්තය ගැඹුරු හා විශාල කිරීමේ සංවර්ධන කටයුතු සිදු කරන අතර නැඟෙනහිර පර්යන්තය ඉදිරිකිරීමේ කටයුතු ද ඇරඹීමට පියවර ගත යුතුයි. ‍

මේ වන විට එවැනි විශාල නැව් සඳහා පහසුකම් තිබෙන්නේ කොළඹ වරායේ සීඅයිසීටී පර්යන්තයට පමණයි.

නැඟෙනහිර පර්යන්තය තැනීමේ කටයුතු සඳහා මෙතෙක් කැබිනට් අනුමැතිය ලබාගෙන නැහැ. එය සෑදීමේ දී හරිත ක්‍රමය අනුගමනය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙන අතර පරිසරය ආරක්ෂාවන අන්දමට එම කාර්යය සිදු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ්.

ලෝකයේ වරාය වර්ගීකරණය අනුව 23 වන ස්ථානය ලබාගෙන ඇති කොළඹ වරාය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් කොළඹ වරාය තුළ ක්‍රියාත්මක ප්‍ර‍ධාන පර්යන්ත ත්‍රිත්වය වන ජය බහලු පර්යන්තය, සී.අයි.සී.ටී සහ එස්.ඒ.ජී.ටී යන පර්යන්ත සමඟ සාමුහික ගිවිසුම් ගත වීමට පියවර ගනු ලැබුවා. කොළඹ වරායේ ඉලක්ක ගත සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍ර‍මුඛ පියවරක් ලෙස මෙය සැලකිය හැකියි.

මෙතෙක් වෙන්ව කටයුතු කළ කොළඹ වරායේ සීඒජීටී , සීඅයිසීටි හා ජයබහළු පර්යන්ත තුන මින් ඉදිරියට බහළු මෙහෙයුම් කටයුතු සාමූහිකව සිදුකිරිමට මේ අනුව තීරණය කර තිබෙනවා.

සීඒජීටී පර්යන්තය හා සීඅයිසීටී පර්යන්ත පෞද්ගලික අංශයෙන් පාලනය වුවත් ජාත්‍යන්තරයේ දී ඒ පර්යන්ත කොළඹ වරායේ පර්යන්ත ලෙසයි ක්‍රියාත්මක වන්නේ. ජය බහළු පර්යන්තය සම්පූර්ණයෙන්ම පාලනය වන්නේ වරාය අධිකාරියෙන්.

මේ අනුව සීඒජීටී , සීඅයිසීටි පර්යන්ත පෞද්ගලික රාජ්‍ය හවුල් ගිවිසුමක් මත ක්‍රියාත්මක වන අතර වර්ෂ 1999 දී මුලින්ම එස්ඒජීටී පර්යන්තය පෞද්ගලික අංශයට කොටස් 85%ක් හා වරාය අධිකාරියට 15%ක කොටස් හිමිවන ලෙස ගිවිසුම් ගත වෙමින් වසර තිහකට ගිවිසුම් ගත වූ අතර මේ ගිවිසුම මඟින් ඇමෙරිකන් ඩොලර් මිලියන 180ක ආයෝජනයක් හිමි විය. 2018 වසර වන විට මෙම පර්යන්තය මෙයෙහුම් මිලියන එකයි දශම අටක වාර්තා ගත මෙහෙයම් ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. සීඅයිසීටී සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල් ගිවිසුම වසර තිස් පහක් සඳහා 2013 අස්සන් තැබුණු අතර ඒ ඇමෙරිකන් ඩොලර් මිලියන 550ක ආයෝජනයක් එමගින් සිදු වුණා. මේ පර්යන්තය ගිවිසුම් ගත කෙටි කාලයේ දී බහළු මිලියන දෙකයි දශම හතරකට ආසන්න මෙහෙයුම් සිදු කරමින් විශාල දියුණුවක් හිමිකරගෙන තිබනෙ අතර මේ පර්යන්ත දෙකම හවුල් ව්‍යාපර වුවත් වැඩි කොටස් ප්‍රමාණයක් පෞද්ගලික අංශයට හිමිව තිබෙන්නෙ.

මෙහෙයුම් සිදු කිරීමේ දී වෙන්ව කටයුතු කිරීම හේතුවෙන් ඒ ඒ පර්යන්ත නමට ලියාපදිංචි ජාත්‍යන්තර වරායවල බහළු නෞකා අදාළ පර්යන්තයේ ඉඩ ලැබෙන තෙක් පිටත නවත්වා තැබීමට සිදුවන අතර ගිවිසුම් ගත වීමෙන් පසු ඉඩ ඇති අනෙකුත් පර්යන්තයකින් මෙහෙයුම් සිදු කිරීමට අවස්ථාව ලබා දීමේ හැකියාව හිමි වෙනවා. ඒ අනුව බහළු මෙහෙයුම් කාර්යක්ශමව පවත්වාගෙන යාමට හැකියි.

අන්තර්ජාතික නව නැව් සමාගම් ද මේ වන විට කොළඹ වරායේ සේවය ලබා ගැනීමට ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒ අනුව දේශීය ව්‍යාපාරික කණ්ඩායම් සාමූහිකව කටයුතු කිරීමේ සංස්කෘතියකට පෙළඹී සිටින අතර වරාය අධිකාරියේ මැදිහත් වීමත් සමඟ නව නැව් සමාගම් ගෙන්වා ගැනීමේ හැකියාව තවදුරටත් වැඩි කර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකියි.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද කීය.

හම්බන්තොට කර්මාන්ත පුරවරයක් හරහා ක්‍රියාත්මක වන අතර කොළඹ වරාය ක්‍රමවේදය හරහා ක්‍රියාත්මක වන්නේ . මේ වරාය දෙකෙන් සිදුවන සේවා දෙයාකාර නිසා තරඟකාරීත්වයක් ඇති වීමට හේතුවක් නැහැ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ද මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මේ ගිවිසුම් මත සේවා බෙදාගෙන කිරීම සිදු වුවත් ඒ සඳහා මිල ගණන් කෙසේ බෙදා වෙන්කෙරෙනවා ද යන්න තීරණය කර නැහැ. ඒ සඳහා ද ගිවිසුම් ගත විය යුතු වුවත් මෙහිදී මුදලට වඩා කොළඹ වරායේ කාර්යක්ශමතාවය පෙන්වීම වඩාත් වැදගත් වන අතර ලෝකය තුළ මේ පර්යන්ත ත්‍රිත්වය ශ්‍රී ලංකාවේ කොළඹ වරාය තුළයි කතා බහට ලක්වන්නේ. ඒ අනුව සිදුකරන කාර්යයනුත් කොළඹ වරාය සතු ක්‍රියාකාරකම් ලෙසයි ලෝකය පිළි ගැනීම. ලාබයට වඩා පහසුකම් සැපයීම මූලිකව ගෙන කටයුතු කෙරෙන්නේ ඒ අනුවයි . මුදල් සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක විය හැකි අතර එය අතුරු ආදායමක් ලෙස ගිවිසුම් ගත වීමේ අවස්ථාවකට පැමිණිය හැකි බව පැවසීය. වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ ,වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක යන මහත්වරු හා ප්‍ර‍ධාන පෙළේ නැව් නියෝජිතයන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();