ගනුදෙනුව සම්බන්ධ සාකච්ඡා දෙකක් රහසිගතව පටිගත කරගත්තා
පළමු විත්තිකාර ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරියගේ සොහොයුරු වූ තුන්වන විත්තිකරුගේ බියගැන්වීම් හා තර්ජන නිසා මගේත් පවුලේ අයගේත් ආරක්ෂාව ගැන සිතා නීතිඥ උපදෙස් මත ප්‍රසන්න රණතුංගගේ නිල නිවසේ හා ශ්‍රාවස්ති කාර්යාලයේදී ගනුදෙනුව සම්බන්ධව පැවැති සාකච්ඡා දෙකක් රහසිගතව පටිගත කළ බව රුපියල් මිලියන 64ක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් බලෙන් ලබාගත් බවට ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිය ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහි නඩුවේ සාක්කි දෙමින් ව්‍යාපාරිකයකු වූ ජෙරාඩ් මෙන්ඩිස් මහතා ඊයේ (29) පැවසීය.
කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් අබේකෝන් මහතා හමුවේ විභාග වන මෙම නඩුවේ පැමිණිල්ලේ වැඩිදුරටත් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජෙරාඩ් මෙන්ඩිස් මහතා එසේ පැවසීය.
රහසිගතව තම බිරියගේ අත් බෑගයේ දමාගිය තාක්ෂණික උපකරණයක් මගින් හා තම ජංගම දුරකථනය මගින් මේ පටිගත කිරීම් සිදුකළ බව පවසා සිටි සාක්කිකරු එම උපකරණ සියල්ල පරීක්ෂණ නිලධාරීන් වෙත භාරදුන් බව ද පැවසීය.
නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇති සංවාද පටිගත කළ ලැප්ටොප් යන්ත්‍රයක් හා තවත් ඉලෙක්ට්‍රොනික උපකරණයක් ද හඬපට කිහිපයක් ද සාක්කිකරු විසින් ඊයේ (29) විවෘත අධිකරණයේදී හඳුනා ගන්නා ලදී.
ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මෙරින් ස්ටෙලා රණතුංග ඊයේ (29) අධිකරණය හමුවේ පෙනී සිටි අතර තුන්වන විත්තිකරු වූ හරේන් ෆාරික් නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වගන්තිය යටතේ මෙම නඩුව විභාගයට ගැනේ.
නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ නැවත ප්‍රශ්න හමුවේ සාක්කිදුන් සාක්කිකරු මෙසේ ද පැවසීය.
2015 අප්‍රියෙල් 10 මා දුන් චෙක්පත්වල සම්පූර්ණ වටිනාකමට මට මුදල් ගෙවීමට හැකියාවක් වුණේ නැහැ. එහෙත් මිලියන 64ක චෙක්පත් මට දෙන්න වුණේ මා බියගැන්වීම නිසා මගේ පවුල ගැන සිතල ගතයුතු හොඳම මග ලෙසටයි චෙක්පත් දුන්නේ. මේ බියගැන්වීම සිදුකළේ පළමු විත්තිකරු හා තුන්වන විත්තිකරුයි.
පළමු විත්තිකරු 2015 අප්‍රියෙල් 10ට පෙර දින තුන්වන විත්තිකරු මට පැවසුවා පළමු විත්තිකරුව හමුවන ලෙස. ඒ අනුවයි 10 වැනිදා මායි බිරිඳයි පළමු විත්තිකරුගෙ නිල නිවසට ගියේ. පළමු විත්තිකරු මට පැවසුවා මේ ගනුදෙනුව කෙසේ හෝ ඉවරකරන ලෙස. ඉන් මට තේරුණේ මේ ගනුදෙනුව ඉවර නොකළොත් කුමක් හෝ දෙයක් මට හෝ මගේ පවුලට සිදුවන වගයි.
පළමුව මට තුන්වන විත්තිකරු පැවසුවේ ගුණරත්න නම් බ්‍රෝකර්ගේ ගනුදෙනු බේරන්න එන ලෙසටයි. එවිට මම ගනුදෙනුව සකස් කරගෙන එන්නද කියා පැවසූවිට තුන්වන විත්තිකරු පැවසුවේ චෙක්පොත අරන් එන්න ගනුදෙනු මෙහෙදී කරමු කියලයි. ඔවුන්ගේ කථා විලාශයෙන් මට තේරුණා මේ කරන්නේ බලපෑමක් බව. පළමු විත්තිකරු හා තුන්වන විත්තිකරු කතා කළ ස්වරූපයෙන් මට මේ චෙක්පත් නොදී ඉන්න බැරිවුණා.
අපේ ගනුදෙනුව ඉවරකරන්න කිව්වා.
විනිසුරුතුමා :- ඒ කතාව අනුව ඔබත් පළමු හා තුන්වන විත්තිකරු අතර ගනුදෙනුවක් තිබුණ ද?
සාක්කිකරු :- නැහැ. අවබෝධතා ගිවිසුමේ තිබුණේ ඉඩම කුලියට දී කුලී මුදල් බෙදෙන අයුරුයි.
2015 අප්‍රියෙල් මස වනවිට ඉඩමේ සංවර්ධන කටයුතුවලට පළමු විත්තිකරු හෝ දෙවන හා තුන්වන විත්තිකරුවන් කිසිදු මුදලකින් මට දායකත්වයක් ලබා දුන්නෙ නැහැ.
විනිසුරුතුමා :- තමන් සමඟ ඇතිකරගෙන තිබූ අවබෝධතා ගිවිසුම ටෝකියෝ සිමෙන්ති සංස්ථාවට විකිණීමට පෙර එය අවලංගු කළේ නැද්ද?
සාක්කිකරු :- අවසන් මොහොත වනතෙක් අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක වුණේ නැහැ. ගිවිසුම අත්සන් කරනවිට ඉඩම වෙනුවෙන් සම්පූර්ණ මුදල් අජිත් පැස්කුවල් නමැති මා ඉඩම ගත් අයට ගෙවල තිබුණේ. සම්පූර්ණ මුදල දරලත් මට මේ ගිවිසුම අනුව ලැබුණේ 59%යි. ඉතිරි සියයට ගණනින් වත්ත විකිණූ අයටත් මුදල් ලැබෙනවා.
මා සාක්කි දෙනවිට හඬපටයක් ගැන සඳහන් කළා. මට තර්ජනයක් එන බව දැනුන විට මගේ ආරක්ෂාව සඳහා සාක්කි අවශ්‍ය වුණා.
ඒ අනුව සැම්සුන් වර්ගයේ උපකරණයක් හා සෝනි වෝක්මන් වර්ගයේ හඬපටයක් හා සී. ඩී. තැටි මා පරීක්ෂණ නිලධාරීන්ට භාර දුන්නා. මා පටිගත කිරීමක් සිදුකළා. ඒවා සිදුකළ උපකරණයි එසේ භාර දුන්නෙ. අප්‍රියෙල් මස 10 වැනිදාට පෙර මා කිසිදු පටිගත කිරීමක් සිදුකළේ නැහැ. නමුත් පළමු හා තුන්වන විත්තිකරුවන්ගේ තර්ජනවලින් පසුවයි මේ පටිගත කිරීම් සිදුකළේ. මා පටිගත කිරීම් තුනක් සිදුකර තිබෙනවා.
අප්‍රියෙල් 10ත් මැයි 29ත් අතර මේ සියලු පටිගත කිරීම් සිදුකළේ.
නි. සො. ජ. :- පටිගත කළ උපකරණ නැවත දුටුවොත් හඳුනා ගන්න පුළුවන් ද?
සාක්කිකරු :- එහෙමයි ස්වාමිනි.
(සාක්කිකරුහට විවෘත අධිකරණයේදී නඩු භාණ්ඩ ලෙස නම්කර පටිගත කිරීම් උපකරණ හා හඬපට පෙන්වා දෙයි.)
මෙම හඬපට හා පටිගත කිරීම් තැටි සම්බන්ධව විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාට මූලික විරුද්ධතාවක් ඉදිරිපත් කිරීමට ඇති බැවින් එම මූලික විරුද්ධතාවට යටත්ව මෙම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා උපකරණ ලකුණු කිරීමට අවසර දෙන මෙන් විත්තිය වෙනුවෙන් ඊයේ (28) ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.
එම ඉල්ලීම සඳහා විනිසුරුවරයා විසින් අවසර ලබාදුනි.
නි. සො. ජ:- මේ උපකරණ ඔබ පාවිච්චි කළේ මොන කාර්යයන්ට ද?
සාක්කිකරු :- මගේ පෞද්ගලික කාර්යයන්ට.
නි. සො. ජ. :- ඒවායේ පටිගත කළේ මොනවා ද?
සාක්කිකරු :- පළමු විත්තිකරු සමඟ සිදුකළ දුරකථන සංවාද?
නි. සො. ජ. :- එම යන්ත්‍ර නිසි පරිදි ක්‍රියා කළා ද?
නි. සො. ජ. :- ඔව්. එෆ්. සී. අයි. ඩී. එකට එම උපකරණ භාරදෙන තෙක්ම ඒවා හොඳින් ක්‍රියාත්මක වුණා.
නි. සො. ජ. :- මොන ආකාරයේ ක්‍රමයක් ද ඔබ අනුගමනය කළේ පළමු විත්තිකරු සමඟ කළ සංවාද ටැබ් යන්ත්‍රයේ පටිගත කරන්න.
සාක්කිකරු :- මගේ දුරකථනයට ඇමතුමක් එනවිට මට ටැබ් යන්ත්‍රය සමඟ ගැළපීමක් ඇති කිරීමට මා සැලැස්සුවා. මගේ ආරක්ෂාව මට සපයා ගන්න සිදුවුණු නිසා මම මගේ තාක්ෂණික දැනුම ඒ සඳහා පාවිච්චි කළා. ඒ අනුව ඉතාමත් පැහැදිලිව මේ සංවාද මා පටිගත කළා.
ටැබ් යන්ත්‍රයේ පටිගත කිරීම් සඳහා මා ක්‍රම කිහිපයක් යොදා ගත්තා. ඕඩියෝ රෙකෝඩින් නමැති ක්‍රමයෙන් ටැබ් යන්ත්‍රයේ මේ සංවාද මා පටිගත කළා. මට මතක ලෙස පටිගත කිරීම් හයෙන් පහක් ටැබ් යන්ත්‍රය හරහා සිදුකළා. මම ටැබ් යන්ත්‍රයෙන් පටිගත කිරීමක් සිදුකරන බව තුන්වන විත්තිකරුට ආරංචි වී තිබුණා. ඒ අනුව ශ්‍රාවස්තියේ වූ සංවාද මා පටිගත කළේ වෝක්මන් එකක් හරහායි.
අප්‍රියෙල් 10ට පසු දෙවනවරටත් මා චෙක්පත් විමල් කියන අය අත යැව්වා. පළමු චෙක්පත් 11න් දෙකක් මාරුකර ගත්තා. ඉතිරිය ගෙවන්නෙ කොහොමද කියා සාකච්ඡා කරන්නයි මට ශ්‍රාවස්තියට එන්න කිව්වෙ. ඒ ශ්‍රාවස්තියේදී පැය දෙකක් පුරාවට සිදුවූ සියලු සංවාද මා පටිගත කර තිබෙනවා. අප්‍රියෙල් 10 පටිගත කළේ පළමු විත්තිකරුගේ නිල නිවාසයේදීයි. ශ්‍රාවස්තිය පළමු විත්තිකරුගේ කාර්යාලය තිබුණේ.
මිලියන 64න් මිලියන 08ක් අඩුකළ පසු ඉතිරි මුදල් ගෙවන විදිහයි ශ්‍රාවස්තියේදී කතා කළේ. මුදල් අවශ්‍යතාවක් තිබෙන නිසා මුදල් හදිසියි කියලයි පළමු විත්තිකරු සැමවිට පැවසුවේ. මා ඉතිරි මුදල් ගෙවන බව පැවසුවා.
( පැ.17 යනුවෙන් ලකුණුකර ඇති උපකරණය අධිකරණයේ ඇති විදුලි පරිපථයකින් ආරෝපණය කිරීමට මේ අවස්ථාවේ විනිසුරුවරයා පැමිණිල්ලට අවසර ලබාදුන්නේය.)
හදිසියේම මට මිලියන 05ක් අවශ්‍ය බව පළමු විත්තිකරු ශ්‍රාවස්තියේදී මට පැවසුවා. පුළුවන්තරම් ඉක්මනින් ලැබුණොත් හොඳයි කියලයි පළමු විත්තිකරු පැවසුවේ.
පළමු විත්තිකරු හමුවන්න ශ්‍රාවස්තියට ගියේ මම චෙක්වලට ගෙවීම් අත්හිටවූ නිසා ඉතිරි ගනුදෙනු පියව ගන්න විදි සාකච්ඡාකර ගන්නයි.
ඊට පෙර තුන්වන විත්තිකරු මගේ ආයතනයට ඇවිත් අයියගේ ගනුදෙනුව බේරපන් කියල කතා කළේ. ශ්‍රාවස්තියේ වූ පළමු විත්තිකරුගේ සාකච්ඡා කාමරයේ තුන්වන විත්තිකරුත් හිටියා. මාත් බිරිඳත් එහි ගියේ ආරක්ෂක නිලධාරින් ද එහි සිටියා. පෙර සාකච්ඡාවකට පැමිණි තවත් පළාත් සභා මන්ත්‍රීවරුන් ද සිටියා. මේ චෙක්පත් ගැන කතා කරනවිට පෙර සාකච්ඡාවට පැමිණි අය ඉවත් කළා. මගේ හා මගේ බිරිඳගේ ජංගම දුරකථනත් ඇතුල්වෙන්න පෙර බාරදෙන්න කිව්වා. මගේ බිරිඳගේ අත් බෑගය තුළයි වෝක්මන් එක රැගෙන ගියේ. ඒ සම්පූර්ණ සාකච්ඡාව පටිගත කරගන්නටයි. ඉන් මා බලාපොරොත්තු වුණේ මගේ ආරක්ෂාව මට ම සපයා ගන්න මට සාක්කි අවශ්‍ය වූ නිසයි.
මෙම චෙක්පත් අත්හිටුවන්න පෙර නීතිඥ උපදෙස් පැතුවා. ඒ අනුවයි මේ විදිහට පටිගත කිරීම් සිදුකළේ. නීතිමය ආරක්ෂාව සැලසුවත් පෞද්ගලික ආරක්ෂාව සැලසිය නොහැකි බව මට නීතිඥ උපදෙස් ලැබුණා. ඒ අනුවයි මම මගේ ආරක්ෂාව සලසා ගන්න හිතුවේ.
පළමු විත්තිකරු ඔහුගේ ආරක්ෂක නිලධාරීන් හා හරේන් ෆාරීක් ශ්‍රාවස්තියේ සිටියේ. පළමු විත්තිකරු සාකච්ඡා මේසයේ වාඩිවී සිටියා. මමත් බිරිඳත් ගොස් එහි වාඩිවුණා. මගේ දකුණු පැත්තේ මගේ බිරිඳගේ වම්පැත්තේ හරේන් ෆාරීක් වාඩිවී සිටියා.
මේ ගනුදෙනුවෙ ඉඩම් අයිතියක් පවරන්න අවබෝධතා ගිවිසුමේ තිබුණෙ නැහැ. පළමු විත්තිකරු පැවසුව ගනුදෙනු බලා ඉවරයි. ඔයාට සල්ලිත් ලැබුණා. මට ආප්ප කනව වගේ සල්ලි ලැබිල වැඩක් නැහැ කිව්වා. පුළුවන්තරම් ඉක්මනට චෙක්පත් ලැබෙන්න සලස්වන ලෙස පළමු විත්තිකරු පැවසුවා. තුන්වන විත්තිකරුට හා පළමු විත්තිකරුට අවශ්‍ය වුණේ කෙසේ හෝ මගෙන් මුදල් ලබා ගන්නයි.
දිවා විවේකයෙන් පසු මෙම නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සාක්කිකරු විසින් සාක්කියක් ලෙස ඉදිරිපත් කිරීමට යන ලැප්ටොප් යන්ත්‍රය සම්බන්ධව මූලික විරෝධතාවක් ඉදිරිපත් කරන ලදී.
නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් විත්තිය ඉදිරිපත් කළ එම මූලික විරෝධතාවට එරෙහිව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදී.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ප්‍රතිඋප්පාදනය කිරීමට යන රෙකෝඩරය සාක්කිකරු භාරයේ තිබූ ඔහුට අයත් එකක් බවත් එහි වන කරුණු පැමිණිල්ලෙන් සාක්කි මතින් තහවුරු කළ යුතු බවත් ඊට අදාළව විත්තියට ප්‍රශ්න ඇසීමේ අවසරය ඇති බවත් විනිසුරුවරයා දන්වා සිටියේය.
දිවා ආහාරයෙන් පසු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ නැවත ප්‍රශ්න හමුවේ සාක්කි දුන් සාක්කිකරු මෙසේ ද පැවසීය.
පළමුව ලබාදුන් චෙක්පත් 09ක ගෙවීම අත්හිටුවූ පසු මා දෙවනුව මාගේ සාමාන්‍යාධිකාරී විමල් අත පළමු විත්තිකරු හට චෙක්පත් අටක් යැව්වා.
(එම චෙක්පත් සාක්කිකරු විසින් හඳුනා ගනියි.)
මේ චෙක්පත් සියල්ල තැන්පත් කරන්න පුළුවන් වුණේ දෙවන විත්තිකාරියගේ ගිණුමට පමණයි.
තවත් චෙක්පත් කිහිපයක් දෙවන විත්තිකාරිය හා තුන්වන විත්තිකරු නමින් යැව්වා.
වැඩිදුර විභාගය කල් තැබුණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශවේන්ද්‍ර වික්‍රම මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරු මඬුල්ලක් සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.


0 Comments