Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේජර්වරයකුගේ සපත්තු අඩියේ කුඩු සැඟවූ සෙබළා අත්අඩංගුවට

Author(s): 
මල්වාන සමූහ මහානාම විතානගේ

මේජර්වරයකුගේ සපත්තු අඩියට හෙරොයින් දැමූ බව කියන තවත් යුද හමුදා සෙබළකු බියගම පොලිසිය මගින් පසුගියදා (14 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබීය.

බියගම, සියඹලාපේ හන්දියේ ශාරිරික සුවතා ව්‍යායාම මං තීරුවේදී සපත්තු අඩියේ හෙරොයින් මිලිග්‍රෑම් 574 ක් තිබී මේජර්වරයා අත්අඩංගුවට ගෙන (යුද හමුදා)ඇති අතර පසුව සිදු කළ විමර්ශන මෙහෙයුමකදී මෙය කුමන්ත්‍රණයක් බව හෙළිවිය.

උප පොලිස් පරීක්ෂක රංගන ද සිල්වා මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධව සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව එම සෙබළා මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ වත්තල හේකිත්ත යුදු හමුදා කඳවුර තුළදීය.

මේ අවස්ථාවේ මෙම කඳවුරේ උසස් නිලධාරීන් ඉදිරිපිට ඔහුගේ ලොකරය පරීක්ෂා කිරීමේදී එහි තිබී කේරල ගංජා ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 900ක්, ගංජා ඇට හා බීඩි ද සොයා ගැනිණි.

මෙම මේජර්වරයා එම යුද හමුදා කඳවුරේ නිලධාරි අණ දෙන ලෙස කටයුතු කරන අතර එම මේජර්වරයා නීතියටම රාජකාරි කරන හෙයින් තමා අපහසුතාවයට පත්වන බවත් ඒ නිසා මෙසේ සිදුකළ බවටත් සැකකාර සෙබළා පසුව පාපොච්චාරණය කර ඇත.

මෙම මේජර්වරයාගේ විවේක කාමරයේ තිබී මේජර්වරයාගේ රියදුරු බලපත්‍රය එම සෙබළා විසින් සොරකම් කරගෙන එහි ඡායා පිටපතක් ලබාගෙන එය උපයෝගිකරගනිමින් කොටුගොඩ ප්‍රදේශයේ ජංගම දුරකථන සේවා මධ්‍යස්ථානයකින් මේජර්වරයාගේ නමට 2018 ජනවාරි මස 15 දින ඩයලොග් සිම් කාඩ් පතක්ද ලබාගෙන ඇත.

ඉන්පසුව මේජර්වරයාගේ විවේක කාමරයේ ඇඳ යට තිබූ වම් සපත්තුවේ අඩියේ කොටස් දෙකක් ගලවා එම හෙරොයින් සූක්ෂම අන්දමින් දමා සපත්තුව පෙර තිබූ පරිදි හොර රහසේ සකස් කර තිබේ. පසුව 2018 ජනවාරි 27 වන දින මෙම සිම් එක භාවිතා කරමින් කාන්තාවක් මාර්ගයෙන් පුද්ගලික ආයතනයකට රැකියා ඉල්ලුම්පත් ලබාදීමට බව පවසමින් මේජර්වරයා බියගම, සියඹලාපේ හන්දියේ ශාරීර සුවතා ව්‍යායාම මං තීරුවට ගෙන්වාගෙන ඇත.

ඒ අතරම එම සිම් එකම භාවිතා කරමින් මේජර්වරයෙකු මත්කුඩු අලෙවි කිරීම සඳහා මත්කුඩු සපත්තුවේ සඟවාගෙන පැමිණ සිටින බවට බියගම පොලිසියටද දන්වා ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මේජර්වරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී වම් සපත්තු අඩියේ තිබී මෙම හෙරොයින් සොයාගෙන තිබේ. මේ වනවිට එම මේජර්වරයා මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදාහැර ඇත.

කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එම සෙබළා එක් දරු පියෙකු වන අතර ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට දැන් කටයුතු කර තිබේ.

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතාගේ උපදෙස් අනුව උප පොලිස් පරීක්ෂක රංගන ද සිල්වා, සැරයන් තිලකනාථ හා පො.කො.තිලක්ෂණ යන නිලධාරින් විසින් මේ වැටලීම සිදු කරන ලදි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();