ශ්‍රි ලංකාව හා බංග්ලාදේශය අතර තීරණාත්මක විස්සයි 20 ක්‍රිකට් තරගය අද පස්වරු 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද ආරම්භ වෙයි. ලබන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේදී ඉන්දියාව සමග තරගවදින ප්‍රතිවාදියා කවුරුන්ද යන්න මෙම තරගයේදී තීරණය වනු ඇත. එබැවින් අද තරගය පිලිබඳ වැඩි දෙනකුගේ අවධානය යොමුව පවතී.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ යන කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සිටින හෙයින් අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමේ පහසු අවස්ථාව උදාවනු ඇත. බංග්ලාදේශය හා ඉන්දියාව අතර තරගයෙන් ඉන්දියාවට ලකුනු 17ක ජයක් හිමිවූ අතර එහිදී මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 72ක් ලබා ගත්ත ද බංග්ලාදේශයට පරාජය අත්විය.
මෙම තත්ත්වය තුල බංග්ලාදේශ සෑම අංශයකින්ම දස්කම් දක්වන ක්‍රීඩක සකීබ් අල් හසන් බංග්ලාදේශයේ සිට ඊයේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කොට තිබුණි. සකීබ්ගේ සහය අද තරගයේදී බංග්ලාදේශ පිල ලබා ගැනීම අරමුණවී තිබේ. සකීබ් අල් හසන් ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ සමග බංග්ලාදේශයේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ඇගිල්ලේ ඇතිවූ තුවාලයකින් තාවකාලිකව ඉවත්ව සිටියේය. කෙසේ වුවද බංග්ලාදේශයට මෙම තරගය අතිශය වැදගත් නිසා සකීබ් කණ්ඩායමට එක්කර ගැනීමට තීරණයවී තිබේ.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවැසූවේ වේග පන්දු යවන්නන් පිළිබඳ තබා ඇති විශ්වාසය කිසිදු අඩුවක් නොමැති බවයි. අද තරගයේදී වේග පන්දු යවන්නන් යම් සාර්ථක තත්ත්වයක් පෙන්නුම් කරනු ඇතැයි හතුරුසිංහ මහතා විහ්වාසය පළ කළේය. “ ගෙවී ගිය තරග දෙකේදී වේග පන්දු යවන්නන් තරමක් අසාර්ථක වුණා. එසේ වූ පමණින් පන්දු යවන බළ ඇණිය වෙනස් වෙන්නේ නෑ. බංග්ලාදේශය හොද කණ්ඩායමක්. ඒ වගේම සකීබ් අල් හසන් අද තරගයට එක්කර ගැනීමට ඔවුන් කල්පනා කොට තියෙනවා. සකීබ් ලොව සිටින අංක එකේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක්“ හතුරුසිංහ පැවැසීය.
“මේ තරගාවලියට පෙර සිටි ශ්‍රී ලංකා පිලේ තත්ත්වයට වඩා අද වෙනස්. දියුණුවක් පේන්න තිබෙනවා. දැන් ක්‍රීඩකයන් විශාල ලකුණු කරා යනවා. අප මේ තරගය පීඩනයකින් තොරව මුහුණ දෙනවා. තරගාවලියේ පළමු තරගය වගේම මේ තරගයටත් පූර්ණ අවධානය යොමු වෙනවා. විශේෂත්වයක් නෑ. අප දන්නවා මේ තරගය ඉතාම තීරණාත්මක එකක් බව.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මෙම තරගාවලියේ මෙයට පෙර පැවැති තරගයේදී බංග්ලාදේශයට විශිෂ්ඨ ජයක් හිමි විය. ශ්‍රී ලංකාව ඕවර් 20කදී කඩුලු 6කට ලකුණු 214ක් ගත්තද, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිල එම විශාල ලකුණු සංඛ්‍යාව හඹාගොස් සම්පුර්ණ කිරීම විශේෂත්වයකි. එහිදී ද බංග්ලාදේශ කඩුලු රකින පිතිකරු ම්ස්ෆිකර් රහීම් පන්දු 35කදී නොදැවී ලකුණු 72ක් ලබා ගැනීමට සමත් විය.
0 Comments