බුදුන් වහන්සේ තෙවරක් වැඩි ලක් දෙරණේ ජාති හා ආගම් පදනම් කර ගනිමින් ගහ මරා ගැනීම කනගාටුවට කරුණක් බව වැදි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ පවසයි.
මේ සියලු ගැටුම්වලට මුල වෛරය,ක්‍රෝධය,ඊර්ෂ්‍යාව,තණ්හාව හා ආශාව බවත් සෑම ආගමකින්ම පෙන්වා දෙන්නේ මෙම දුර්ගුණ බැහැර කිරීමට වුවත් බොහෝ දෙනා ඒවාහි ගැලී සිටින බවක් පෙනෙන්නට තිබෙන බවත් වන්නියලෑ ඇත්තෝ ප්‍රකාශ කළේය.
ජාති,ආගම් හා පක්ෂවලට බෙදී ගහ මරා ගන්නා මිනිස්සු හැමෝගෙම ඇඟේ ගලන්නේ රතුපාට රුධිරය බවත් සිංහල,දෙමළ හෝ මුස්ලිම් කියා ලේ වර්ග කර නොමැති බවත් වැදිනායක පැවසුවේය.
එකිනෙකාට දොස් පවරා ගනිමින් ඉන්නවාට වඩා මේ මොහොතේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එකට එකතුවී ක්‍රියා කිරීම යහපත් බවත් සාකච්ඡා මාර්ගයෙන් මිස ගහ මරා ගෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නොහැකි බවත් හෙතෙම කීවේය.
සිංහල මහ ජාතිය සමඟ සෙසු ජාතීන් සහයෝගයෙන් වැඩකළ යුතු බවත් ඔවුන්ට සහයෝගයෙන් වැඩකළ හැකි පරිදි මහජාතියද ජීවත් විය යුතු බවත් කී වන්නයලෑ ඇත්තෝ ජාතික සමඟිය බිඳ වැටීමට ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියාවන්ද හේතු වන්නේ යැයි ප්‍රකාශ කළේය.
මෙලොව උපදින කුඹින්ටත්, මැසි මදුරුවන්ටත්, දියේ ඉන්න මතස්යයන්ටත් ඉන්න තැනක ජීවත් වෙන්න හා තම පරම්පරාව පවත්වාගෙන යන්න අයිතියක් තිබෙන බවත් වැදිනායකයා පැවසීය.
0 Comments