ඇමැති සජිත් ප්‍රේමදාස
යහපාලන රජය යටතේ මේ වන විට නිවාස ගැටලුවලින් පීඩා විඳි පවුල් 264,000කට ආධාර උපකාර කර ඇති බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඇමැතිවරයා මෙසේ පැවසුවේ පසුගියදා කළුතර මහරැක්ම ප්‍රදේශයේ ඉදිවූ 49 වන උදා ගම්මානය ජනතා අයිතියට පැවරීමේ උත්සවයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.
යහපාලන රජය ආරම්භ කළ ‘යළි පිබිඳුණු උදා ගම්මාන’ වැඩපිළිවෙළ යටතේ 49 වන උදා ගම්මානය කළුතර දිස්ත්‍රික්කයේ මහරැක්ම ප්‍රදේශයේ ඉදිවූ ‘සිව්දෙවිගම’ ආදර්ශ ගම්මානයයි. මේ ගම්මානය ජනතා අයිතියට පත්වන අවස්ථාවේ තවත් පවුල් 337 කට පමණ අමතර ප්රතිලාභ රැසක් හිමිවනවා.
නව නිවාස 39කින් ‘සිව්දෙවිගම’ උදා ගම්මානය සමන්විතයි. මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා රුපියල්ලක්ෂ 373ක පමණ මුදලක් වැය කර තිබෙනවා. පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් ‘සිව්දෙවිගම’ උදා ගම්මානය සමන්විතයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීම හා ලක්ෂ්මන් විජේමාන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ගේ නායකත්වය යටතේ ‘සිව්දෙවිගමට’ ප්‍රජා ශාලාවක්ද හිමිවුණා. අද වන විට මුළු රටේම උදා ගම්මාන 575ක් ඉදිවෙමින් පවතිනවා.
අද දවසේ නිවාසලාභී පවුල් හැර තවත් පවුල් 337ක් සඳහා රුපියල්ලක්ෂ 720ක ප්රතිලාභ රැසක් අප ලබා දෙනවා. ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ තරුණ තරුණියන් 60 දෙනෙකුට රුපියල් ලක්ෂ 25ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම් හා විෂයානුබද්ධ පෙළ පොත් කට්ටල ලබා දෙනවා. දෘශ්‍යාබාධිත පුද්ගලයින් 95 දෙනෙකුට රුපියල් 95,000ක් වටිනා ඇස් කණ්ණාඩි ලබා දෙනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 86කට රුපියල් ලක්ෂ 80ක් වටිනා ‘විසිරිනිවාස ණය’ ලබා දෙනවා. වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයින් 17 දෙනෙකුට රුපියල්ලක්ෂ 40 ක නිවාස ආධාර ලබා දෙනවා. ප්‍රදේශයේ තවත් පවුල් 64කට රුපියල් ලක්ෂ 02 බැගින් ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ‘සොඳුරු පියස නිවාස ණය’ ලබා දෙනවා.
මෑත කාලයේදී රජයක් දියත් කළ සංවර්ධන වැඩසටහන් තුළින් ජනතාවට දැනෙන, ඇසෙන, පෙනෙන ප්රතිලාභ රැසක් හිමි වූ වැඩසටහන ලෙස උදා ගම්මාන වැඩසටහන ප්‍රචලිත වී තිබෙනවා. 50 වැනි උදා ගම්මානය අම්පාර දිස්ත්‍රික්කයේ, තිරුක්කෝවිල් බල ප්‍රදේශයේ ‘සංගමන්ග්‍රාමම්’ උදා ගම්මානය ලබන සිකුරාදා අප ජනතා අයිතියට පත් කරනවා. අපගේ ඉලක්කය 2020 වසර වන විට උදා ගම්මාන 2,500ක් ඉදිකිරීමයි. 2018 වසරේදී උදා ගම්මාන 650ක් ඉදිකිරීම අපගේඉලක්කයයි. මහජන සුබ සාධනය වෙනුවෙන් රජයක් ලෙස දැවැන්ත ක්‍රියාදාමයන් රැසක් සිදු කර තිබෙනවා. උදා ගම්මාන 2, 500ක් ඉදිකිරීමේ ඉලක්කය කරා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සහ අපගේ රජය යන ගමනේදී ඇතැම් පිරිස් ඉදිරිපත් කරන යම් තර්කවලට පිළිතුරු ලබා දීමට අවශ්‍ය වී තිබෙනවා.
අද 49 වැනි උදා ගම්මානය ජනතා අයිතියට පත්වන මේ මොහොතේ ආණ්ඩුව අකර්මණ්‍ය වෙලා යැයි කියන්නේ කෙසේද කියා මා ඔහුගෙන් අහන්නට කැමැති යැයි ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
0 Comments