අග්‍රාමාත්‍ය හෙයිල්මරියම් ඩිසැලින්ගේ ඉල්ලා අස්වීමත් සමඟ ඉතියෝපියාවෙහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවති විරෝධතා මේ වන විට සමස්ත ඉතියෝපියාව පුරාම ක්‍රියාත්මක වේ. 2015 වසරේ සිට ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් මේ වන විට 500 කට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව ද වාර්තා වේ. පොලිස් නිලධාරීන් 90 දෙනෙකු ද ගැටුම් අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති අතර අත්අඩංගුවට පත්ව ඇති සංඛ්‍යාව සිය ගණනකි.
කෙසේ වෙතත් ජනතාවගෙන් සහ විපක්ෂයෙන් එල්ල වූ විරෝධතා මධ්‍යයේ හෙයිල්මරියම් ඩිසැලින් පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
ඔහු 2012 වසරේදි ඉතියෝපියානු අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අතර ඉන් වසර තුනකට පසුව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූයේ ජනතාව හෙයිල්මරියම්ගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමත් සමඟිනි.
ඔහුගේ පාලන කාලය තුළ ඉතියෝපියාවේ ආර්ථිකය තවත් කඩා වැටීමකට ලක්ව ඇති බව වාර්තා කෙරේ. නියඟය සහ ගංවතුර හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමට රජය කිසිදු පියවරක් නොගැනීමෙන් ඉතියෝපියානුවන් විශාල පිරිසක් මේ වන විට මියගොස් තිබේ. මානව හිමිකම් උල්ලංඝණය කිරීම, ජනතා ඉඩම් රජයට පවරා ගැනීම සහ විපක්ෂ ආධාරකරුවන් පොලිස් භාරයට ගැනීම යන කරුණු ද හෙයිල්මරියම් රජය ප්‍රතික්ෂේප කිරීමට හේතු විය. ඉතියෝපියාවට මෙතෙක් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර නොමැත.


0 Comments