ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුව දැනට තිබෙන බලතළ ඉවත් කිරීමට කිසිවකු හෝ කටයුතු කරනවා නම් පුරවැසි සංවිධාන එකතුව එයට එරෙහිව කටයුතු කරන බව එහි සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
ඔහු එසේ පැවසූයේ මරදාන සී. එස්. ආර් හිදී ඊයේ (20)පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.
මෙවර සිදුවන බව පැවසෙන කැබිනට් සංශෝධනයේදී රටේ ආර්ථිකය හා නීතිය සාමය පිළිබඳව වගකීම් පැවරීමේදී ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුවිය යුතු බවද පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු පැවසීය. 2015 ජනවාරි 08 දින රටේ ඇතිවූ දේශපාලන පරිවර්ථනය ආපස්සට හැරවීමට කිසිවෙකුට ඉඩ නොතබන බවද ඔහු ප්‍රකාශ කළේය.
රටේ යහපත උදෙසා බරපතළ වෙනස් කම් සිදු කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රට පෙරට ගෙන යාමට තීරණය කර ඇති බව පෙනී යාම සහ ජනතා අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම පුරවැසි සංවිධාන එකතුව අගය කරන බවද පුරවැසි බලය සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කීය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම වර්තමානයේ ඇතිවී තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය පිළිබඳව කටයුතු කරණුයේ කිසිදු රාජ්‍ය තාන්ත්‍රික භාවයකින් තොරව යයිද හෙතෙම චෝදනා කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා මහතා- ජනතාවට පොරොන්දු වූ දේ ඉටු කර දෙන ලෙස ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍යතුමාට අප හැමදාම බලපෑම් සිදුකළා . රටේ යහපත උදෙසා බරපතල වෙනස්කම් සිදුකළ යුතු බව අප නිරන්තරව ප්‍රකාශ කළා. ජනවාරි 08 දින පරාජය වූ පාලනය නැවත බලයට පත්වීම අප වැලැක්විය යුතුයි. පුරවැසි යහපත මුල්කරගෙන වෙනස්කම් කිරීමට යහපාලනය පෙරට යා යුතුයි. මහින්ද පාර්ශ්වය සමඟ ඇතිකර ගන්නා එකඟතා තුළින් ජනතා න්‍යාය පත්‍රය අනුව කටයුතු සිදු කිරීම අපහසුයි. මහින්ද මහත්තය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරමින් පොහොට්ටුවේ වේදිකාවටත් ගොඩ වෙනවා. හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම රට අස්ථාවර කරන දේශපාලනයක නිරත වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය අරගෙන අවශ්‍ය නම් මහින්ද මහත්තයාට දේශපාලන සටනට පිවිසිය හැකියි. ප්‍රදේශීය සභා මැතිවරණයක් මුල්කර ගනිමින් ආණ්ඩුවක් විසුරුවා හැරීමට ඉල්ලීම කුමන දේශපාලනයක්ද?.
ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවටද ඇතැමෙන් ප්‍රකාශ කරනවා. විධායක ජනාධිපති ධූරයේ තිබූ බොහෝ දේ ඉවත් කර තිබෙනවා. සීමාවන් පනවා තිබෙනවා. ඒ නිසා දැන් සිටින්නෙ පසුගිය කාලයේ සිටි විධායක ජනාධිපතිවරයා නොවේ. ඒ වගේම විධායකයට අත්තනෝමතික බලතළ එකතු කරනවාට අප විරුද්ධයි. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට වැඩි බලතල නැති බල තුළනයක් ඇති කළ යුතුයි. ජනතාවට පොරොන්දූ වූ ලෙස යුක්තිය ඉටුකිරීමට ප්‍රමාද වීම වත්මන් රජය ජනතාවගේ විවේචනයට ලක් වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුයි.2010 වර්ෂයේදී ගාල්ලේදී අතුරුදහන් වූ උපාලි මෙන්ඩිස් වෙනුවෙන් නීතිය ඉෂ්ඨ විය යුතුයි. අප ජනාධිපතිතුමා හමුවූ සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කළේ අපරාධ කරුවන්ට දඩුවම් ලබා දිය යුතු බවයි. කතානායක කරූ ජයසූරිය මහතා සහ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා යහ පාලනය පිළිබඳව පසුගිය දිනවල සද්භාවයෙන් කටයුතු කළා.
ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සභාපති ඩී. එම්. ඩී අබේරත්න මහතා-පසුගියදා පැවැති පළාත් පාලන ඡන්දයෙන් පසුව විවිධ දේශපාලන ගැටලු ඇති වෙමින් තිබෙන බව පෙනෙනවා. ඇතැම් අය විපක්ෂ නායක කම පිළිබඳව කතා කරනවා. පසුගියදා පැවැතියේ පාර්ලිමේන්තු මැතිවරණයක් නොවෙයි.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වරයෙක්. එතුමා පෙර කාලයේ පක්ෂ කැඩුවා වගේ යහ පාලන ආණ්ඩුවත් කඩා දැමීමට උත්සාහ කරනවා. එදා හිටපු නිළධාරී කණ්ඩායම නැවත පෙර සිටි පාලකයන් වටා එකතු වෙමින් තිබෙනවා.
මේ වන විට නිකුත් වී තිබෙන බරපතල වංචාවන් පිළිබඳ කොමිසන් වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි. බැදුම්කරය සම්බන්ධයෙන් නීතිය මේ වන විට ක්‍රියාත්මක වනවා.
උපාලි කරුණාරත්න සහ චන්දිමා කරුණාරත්න
ඡායාරූපය- රොෂාන් පිටිපන
0 Comments