ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරයන් වූ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය නයිල් නිම්න ශිෂ්ටාචාරය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හා හොවැංහෝ ශිෂ්ටාචාරයන්හි වාසය කළ අපේ ආදි මුතුන්මිත්තන් එකිනෙකා අතර වෙළඳ ගනුදෙනු සිදු කළ ආකාරය පිළිබඳ වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී තිබේ. ඊට අමතරව මධ්‍යධරණී ප්‍රදේශයේ ග්‍රීසියේ හා රෝමයේ ද රේගු ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු දැක්වේ.
දේශ සංචාරයෙහි නිරත වූ වෙළෙඳුන් විසින් ජාත්‍යන්තර වෙළඳාම සඳහා තමන් පැමිණෙන රටේ රාජ්‍ය නායකයාට පිරිනමන ලද සාම්ප්‍රදායික ත්‍යාගයක් ලෙස ආරම්භ වුණු රේගු සංකල්පය පසුකාලීනව රජය විසින් බදු ගෙවීමට නියම කිරීමක් ආකාරයට විකාශනය වන ලදී.
පැරණි ඊජිප්තුවේ ඩිරෙක්ටර් ඔප් කැරවෑන් නම් තනතුරක් පැවැතුන බවත් එය පැරණි ඊජිප්තු රජයේ නිලධාරින්ගේ නාමාවලියේ සඳහන්ව තිබූ බවත් ආනයන හා අපනයන ලියාපදිංචිය සම්බන්ධව ඔහු වගකීම දැරූ බවත් සඳහන් වේ. ඔහු දේශීය අයබදු පිළිබඳව පමණක් නොව රේගු බදු සම්බන්ධව ද කටයුතු කළ බව කියැවේ. එල් කොට්‍රෙල් විස්තර කරන ආකාරයට ඔහුගේ ලයිෆ් අන්ඩර් ද පාරාවෝ නමැති කෘතියේ තීබ්ස් වරාය (අද ලක්ෂෝර්) ගැන සඳහන් කිරීමේ දී මඩ සහිත ගල් බිත්ති එනම් ගඳම් බඩු ගබඩා රේගු කාර්යාල සාප්පු බියර් හල් ගණිකා නිවාස හා පැල්පත් තිබූ බව සඳහන් කරයි.
හෝමර්ගේ කාව්‍යවල සඳහන් තාවෝස් රජුට සිදු කළ ත්‍යාග පිරිනැමීම සිදු කිරීමෙන් අදහස් කළේ තමන් වෙළෙඳාම සිදු කරන රටේදී ඔවුනට සම්පූර්ණ ආරක්ෂාව සළසා ගැනීම හා බාධාවකින් තොරව වෙළෙඳ කටයුතු කර ගැනීම සඳහා බව ය.
ක්‍රි. පූ. 413දී ඇතිනියන්වරු සියලුම ආනයන හා අපනයනවලට සියයට 5ක රේගු බද්දක් අයකළ බව පැවසේ. එහෙත් සම්ප්‍රදායික ග්‍රීක වැසියන්ට මෙම සාමාන්‍ය රේගු බද්ද අය කර ගැනීමට අපහසු වී තිබේ වරක දී එය සියයට 2 දක්වා අය කළ අතර ඇතැන්ස් හා ස්පාටා අතර යුද්ධය පැවැති අවධියේ දී එනම් ක්‍රි. පූ. 431දී මෙය සියයට 5 සිට 20 දක්වා වැඩි කරන ලදී. එකල වැදගත්කමක් ඉසිලූ පිඟන් භාණ්ඩ අපනයනය සඳහා සියයට 3 1/3 ක අපනයන බද්දක් අයකරන ලදී.
සිරියානු කාන්තාරයේ පැල්මයිරාහි ඕසිස් නගරයෙන් රේගු වෘත්තිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය වී ඇත. ක්‍රි. ව. 136දී ඔවුන් විසින් සොයාගත් තීරු ගාස්තු නාමාවලිය අද දක්වා වර්ධනය වී ඇති සංයෝජිත නාමාවලියේ ආරම්භය ලෙස සැලැකිය හැකිය. මෙයට පැල්මයිරා තීරු ගාස්තු නාමාවලිය යයි නම් කරන ලදී. පැල්මයිරා තීරු ගාස්තු නාමාවලියේ විවිධ භාණ්ඩවලට විවිධ රේගු තීරු අනුපාතයන් පනවා තිබුණි. මෙම නාමාවලිය මගින් පැල්මයිරාහි නාගරික බදු නීතිය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වන අතර මෙය විශාල ශෛලමය පුවරුවක ග්‍රීක් හා ඇරමෙයික් භාෂාවලින් සළකුණු කර තිබුණි. එහි සඳහන් වන ආකාරයට පැල්මයිරාහි පිහිටි තඩ්මොර් නගරයට ඇතුලුවන ඔටුවෙකුගේ පිටේ ගෙනයන බඩු තොගයකට දෙනාරි 3ක් ද තඩ්මෝර්වලින් පිටවන බඩු තොගයකට නොරි 3ක් අයකළ යුතු බවයි.
සාම්ප්‍රදායයික චීන දාර්ශනිකයන් විසින් රේගු සංකල්පය යන්න බදු අය කිරීමකට වඩා භාණ්ඩ පරීක්ෂා කිරීමක් ලෙස සැළකූ බව ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කර තිබීමේ හේතුව නිසා පැහැදිලිවේ.
භාරතයේ විසූ මිනිස් වර්ගයාගේ සිතුම් පැතුම් ඇතුළත් සාහිත්‍ය ග්‍රන්ථයක් වන චතුර්වේදයේ කොටසක් වූ මනුස්මෘතිය ඉපැරණි ම හා අති සම්භාවණීය ස්මෘති ග්‍රන්ථයක් සේ වියතුන් විසින් සළකනු ලැබේ. මෙහි සඳහන් වන ආකාරයට සාර්ථක වූ රාජ්‍ය පාලනයක් සඳහා පිරුණු භාණ්ඩාගාරයක් අවශ්‍යය දුරාතීතයේ සිටම ක්‍රමාණුකූලව බදු අයකිරීම පැවැතුනු බව මනුස්මෘතිය සඳහන් කරයි. ව්‍යාපාරික අංශයෙන් බදු අය කිරීමේ දී බඩු ගැනීමට ගිය වියදම (ක්‍රය) හා ඒවා විකිණීමෙන් ලබන ලාභය බඩු ගෙන ආ දුර ප්‍රමාණය යැපීම් වියදම් භාණ්ඩ ආරක්ෂා කර ගැනීමට ගිය වියදම ආදිය පිළිබඳව මැනැවින් සලකා බලා රජ වෙළෙන්දන්ගෙන් බදු අය කළ යුතු බව ද එකී ග්‍රන්ථයෙහි සඳහන් වේ.
කෞටිල්‍ය විසින් බදු වර්ග දෙකක් ගැන සඳහන් කරයි. එනම් නිශ්ක්‍රාමියම් සහ ප්‍රවේශ්‍රයම් යනුවෙන් ය දේශ සීමාවේදී පහෙන් එකක බද්දක් ගෙවිය යුතු ය. එසේ ම රටකින් රටකට බඩු අපනයනය කිරීමේ දී ගණනය කළ යුත්තේ වියදම අනුව ය. එය දේශීය සීමාවේදී භාණ්ඩ විකිණීමෙන් ලැබූ නියම ලාභය මත හෝ අපනයනයෙන් පසුව තීරු බද්ද ගංගා බද්ද ප්‍රවාහන වියදම සහ කොමිස් මුදල යනාදිය සමඟ වූ මුලු වියදම අනුව ගණනය කළ මිල ය.
ශ්‍රී ලංකාවේ රේගු ඉතිහාසය පටන්ගත් වකවානුවක් ගැන සඳහන් කිරීම අපහසු ය. පිටරට සිට වෙළෙන්දෝ වෙළඳාම සඳහා මෙහි පැමිණෙති. ඔවුන් පැමිණි කළ භූතයෝ ඔවුන්ට පෙනී නොසිටින නමුත් මිල සළකුණු කරන ලද දුර්ලභ වෙළෙඳ බඩු වෙළෙඳාම සඳහා සූදානම්කොට තබති. වෙළෙන්දෝ එසේ දක්වා ඇති මිල ගණන්වලට එකඟව මිල ගෙවා බඩු රැගෙන යති. වෙළෙඳුන්ගේ මේ ගමනාගමනය නිසා අවට තිබූ සෑම රටකම පාහේ මිනිස්සු මෙය කොතරම් සුන්දර දිවයිනක් දැයි දැන ගත්තෝ වරින්වර මෙහි අවුත් පදිංචි වූ බව පාහියන්ගේ දේශාටන වාර්තාවේ සඳහන් වේ.
රජුගේ ඇමතියෙකු අයබදු පඬුරු එකතු කිරීම සඳහා මාවටු පටුනට ගිය අවස්ථාවේදී එහි මනුෂ්‍යයෝ වීථි හැම කැළි කසළ හරවා අලංකාරකොට මහවේ දෙපස තිරිකඩම් තනා සියලු වීථි මාර්ගය එකහෙළා සරසා තැබූහයි පැවසේ වෙළෙඳුන් විසින් රැගෙන ආ පට පිළි සඳහා මහපුටුලද්දන් නමැති නිලධාරින් විසින් බදු අය කළ බව මන්නාරම් කච්චේරි ටැම් ලිපිය සඳහන් කරයි.
අනුරාධපුර හා පොළොන්නරු යුගවල විසූ රජවරු විසින් රට වැසියන්ගෙන් විවිධ බදු වර්ග අයකළ බව මහාවංශය සඳහන් කරයි. ක්‍රි. ව. 1 වන සියවසේ ලක්දිව මාගම්පුරයේ රජකළ ප්‍රාදේශීය රජෙකු වූ ගෝඨාභය රජ සමයේ දී වත්මන් අම්බලන්තොට ප්‍රදේශයේ පිහිටි ගොඩපවෙත හෙවත් ගොඩවාය නම් වරාය හරහා පිට රටින් භාණ්ඩ ආනයනය කළ බවත් මැණික් ආදී භාණ්ඩ අපනයනය කළ බවත් සඳහන් වේ. නිශ්ශංකමල්ල රජුගේ කාලයේදී අයබදු අංශයේ ඇතැම් ප්‍රතිසංස්කරණ ඇති කළේය. පෙර රජුන් විසින් ගන්නා ලද ඇතැම් අසාධාරණ අයබදු නිසා පීඩාවට පත් රටවැසියන්ට සහනයක් ලබාදීමේ අරමුණින් පස්අවුරුද්දක අයබදු අත්හළ බව සඳහන් වේ. පළමු වන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී බදුනායක නමින් තනතුරක් තිබූ අතර ඒ නිලධාරියා අයබදු එකතු කළ බවක් පෙනේ. අටෙළාස් රටකින් එනම් එකළ සොයාගෙන තිබුණු ලෝකයේ හැම පෙදෙසකින් ම පාහේ වෙළෙන්දන් පැමිණි නැව් තොටවල් නවයක් (නව තොටමුණ) ගැන ලංකාතිලක ශිලා ලිපියේ සඳහන් වේ. ගෙනා හෝ යැවූ වෙළෙඳ බඩුවල වටිනාකම අනුව බදු අය කළ බව පෙනේ.
දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ අගමැති ලෙස ප්‍රකට දේවප්‍රතිරාජ ඇමැතිතුමාගේ දෙව්නුවර ලිපියෙහිත් නාගදීපයෙන් සොයා ගනු ලැබූ දෙමළ ලිපියකත් රේගු තීරු බද්ද ගැන සඳහන් වේ. දෙමළ ලිපියෙහි සඳහන් වන්නේ පිටරට පැටවූ සතුන්ගෙන් විශේෂයෙන් ඇතුන්ගෙන් තීරු ගාස්තුව අය කළ බවය.
වර්ෂ 1660 දී රොබට් නොක්ස් පැවැසුවේ එකළ විසූ රජුට කොට්ටියාර් හා පුත්තලම වරායවල වෙළෙඳාම සඳහා යන එන නෞකාවලින් තීරු බද්දක් අයකළ බවකි. එහෙත් එම නැව්තොටවල් ලන්දේසින් විසින් පැහැර ගැනීමෙන් පසුව එම බද්ද සිංහල රජුට අහිමි විය. පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම ඕලන්දක්කාරයන් අතින් ඉංග්‍රීසීන්ට පැවරුනේ 1796 දී ය. ඉන්දියාවේ පැවැතුනු කාර්යාල ක්‍රමයේ ආකෘතියක ස්වරූපයෙන් මදුරාසි ආණ්ඩුව විසින් මදුරාසි සිවිල් සේවකයන් මෙහි ගෙන්වූ බවත් ඒ අනුව ආදායම් අධිකාරිවරයෙක් නේවාසික වාණිජ නිලධාරියෙක් සහ අයකැමිවරු කීපදෙනෙක් රජයේ ආදායම එකතු කිරීම සඳහා මෙහි පැමිණියහ.
වර්ෂ 1829 වන විට කොළඹ, ගාල්ල, වැලිගම, තංගල්ල, ත්‍රිකුණාමලය, මුලතිව්, යාපනය, පේදුරුතුඩුව, කයිට්ස්, මන්නාරම හා කල්පිටිය යන ස්ථානවල රේගු කාර්යාල ඇතිකරන ලදී. ඒ ස්ථානවල සිටි අය සහකාර රේගු මාස්ටර්වරු වූහ. ලන්දේසින් විසින් අනුගමනය කළ රේගු නීති හා කාර්යයන් ඔවුන් විසින් සිදු කරන ලදී.
රේගු දෙපාර්තමේන්තුව 1806 වසරේදී ආරම්භ වූ බව සැළකෙන අතර වර්ෂ 1809 ජූනි මස 14 වනදා ප්‍රථම රේගු පාලක ජනරාල්වරයා ලෙස අන්තෝනි බර්ටොලච්චි මහතා පත්කරන ලදී. වෙළෙඳ කටයුතු පිළිබඳව මනා දැනුමක් ඇතිව සිටි අන්තෝනි බර්ටොලච්චි මහතා, මේ සඳහා පත්කළ අතර ඔහු මාසිකව ආදායම් වාර්තාවක් ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කළ යුතු විය.
ශ්‍රී ලංකා රේගුවේ නව යුගයක ආරම්භය සිදු වූෙය් 1869 වසරේදී ය. 1869 අංක 17 දරන ආඥා පනත මගින් සියලු ආඥා පනත් ඒකාබද්ධ කෙරිණි. ශ්‍රී ලංකාවේ පරිපූර්ණ ලිඛිත රේගු ඉතිහාසයක් ආරම්භ වූයේ මෙයින් පසුව ය.
යුරෝපා රටවල ජාතීන් 17 දෙනකුගෙන් සමන්විත වූ රේගු සහයෝගීතා සංවිධානය ආරම්භ කරන ලද්දේ 1953 වසරේ ජනවාරි මස 26 වන දින බැවින් ජාත්‍යන්තර රේගු දිනය ජනවාරි 26 වන දින ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී ලංකාව ද ලෝක රේගු සංවිධානයේ සාමාජිකයෙක් ලෙස මෙම ජාත්‍යන්තර රේගු දිනය සමරයි.
0 Comments