ලොව නන් දෙසින් ඇතිව තිබූ පාරිසරික ගැටලු හේතුවෙන් දියුණු රටවල් 1960 දශකයේ සිට පරිසරය කෙරෙහි දැඩි අවධානයකින් හා උනන්දුවකින් කටයුතු කළහ. මෙම අවධානයට පරිසරවේදීන්ගේ හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීම් මහත් පිටිවහලක් විය. රේචල් කාර්සන්ගේ “නිහඬ වසන්තය”(Silent spring) ආදී ග්‍රන්ථ ද මෙහිදී වටිනා මෙහෙයක් සිදුකරන ලදී. 1970 ඇමෙරිකාවේදී ප්‍රථම වරට “මිහිතල දිනය” සමරන ලද්දේ පරිසරය කෙරෙහි ඇති වූ අවධානයේ ඵලයක් ලෙසය. පාරිසරික ගැටලු වෙත ලෝකයේ අවධානය දැඩිව යොමුවෙමින් 1972 දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර මානව පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණය (UNCHE) පවත්වන්නට යෙදුනි. මෙම මිහිතල සමුළුව නූතන පරිසර සංරක්ෂණ ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් විය. එනම් එය ඒ ඒ රටවල් තමන්ට ආවේණික ආර්ථික ආකෘති අනුගමනය කිරීම හේතුවෙන් සංවර්ධනය හමුවේ පරිසරය මුහුණ දී තිබූ අභියෝග ජයගැනීම උදෙසා වූ සාධනීය ප්‍රවේශයක් වීමයි.
අපේ පොදු අනාගතයක අපේක්ෂාව
මානව පරිසරයේ හා ස්වභාවික සම්පත්වල ඇතිවී තිබූ දැඩි හායනය පිළිබඳව අධ්‍යයනය කර පරිසරය හා පරිසර සම්පත් සුරක්ෂිත කිරීම උදෙසා ක්‍රියා කිරීමට කොමිසමක් පත්කරගැනීම සඳහා යෝජනාවක් 1983 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී සම්මත කරගන්නා ලදී. ඒ අනුව පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසම (World Commission on Environment and Development) පත්කර ගන්නා ලද අතර එහි ප්‍රධාන අරමුණ වූයේ වසර 2000 හා ඉන් ඉදිරියට සංවර්ධනය අත්කර ගැනීම සඳහා දිගුකාලීන පාරිසරික උපාය මාර්ග යෝජනා කිරීමය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1987 ඔක්තෝබර් මාසයේදී පිළිගන්නා ලද එම කොමිෂන් සභාව වාර්තා වූයේ “අපේ පොදු අනාගතය” (Our Common Future) නම් ප්‍රකාශනයයි. එවකට නෝර්වේ රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරිය වූ “ග්‍රෝහ්ලේම් බෘන්ඩ්ට්ලන්ඩ්” මහත්මිය එම කොමිසමේ සභාපතිනිය වූ අතර කොමිසම ඇයගේ නමින් ද නම් කෙරිණ. මිහිතල සමුළුවත් හා එහිදී එකඟතාවයට පැමිණි “21 වන සියවස සඳහා වූ න්‍යාය පත්‍රය” (Agenda-21) අපේ පොදු අනාගතයට හා තිරසර සංවර්ධනයට මග පෙන්වන ප්‍රධාන සංකල්ප දහරාව විය. ඒ අනුව 1987 සිට තිරසර සංවර්ධනය උදෙසා වන දැක්ම වන්නේ “අනාගත පරම්පරාවල අවශ්‍යතා සඳහා යොදා ගැනීමට බාධා නොවන අයුරින් වර්තමාන අවශ්‍යතා සඳහා පරිසර සම්පත් භාවිතයට ගැනීමයි.” ඒ අනුව තිරසර සංවර්ධනයේ දී ආර්ථික සංවර්ධනය, සමාජීය සමානාත්මතාවය, පරිසර සංරක්ෂණය හා ආධ්‍යාත්මික සංවර්ධනය යන අංශ තුලනාත්මකව පවත්වා ගැනීම අපේක්ෂා කරන අතර ඒ සඳහා සංවර්ධන ආකෘති සකස්කර ක්‍රියාත්මක කළ යුතු වේ.
තිරසර සංවර්ධනය ළඟාකර ගැනීමේදී දියුණු රටවල් ඉදිරියට ගොස් ඇති අතර දියුණු වන රටවල් ඒ සඳහා තව තවත් ප්‍රයත්න දැරිය යුතු වේ. තිරසර සංවර්ධනයට විශාල අභියෝගයක් වී ඇත්තේ ගෝලීය උණුසුම හා දේශගුණික විපර්යාසයන් ය. කෙසේ නමුත් 1980 දශකය වන විට ලෝකය ගමන් කර තිබූ හානිකර ප්‍රවණතාව වෙනස්කර මිහිමත තිරසර පැවැත්ම සඳහා ඥානාන්විත සංවර්ධන ප්‍රවේශයන්ට ලෝකය අවතීර්ණ වී ඇති බව මෙහිදී සඳහන් කළ යුතු වේ.
තිරසර සංවර්ධන අරමුණු
විවිධ සම්මුති හා ගිවිසුම් ගණනාවක් ඔස්සේ තිරසර සංවර්ධනයට ලෝක නායකයින් පිවිස ඇති අතර වසර 2000 නව සහස්‍රය උදාවත් සමඟ සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ 8ක් සාධනය උදෙසා ලොව රටවල් 191 ක් එකඟතාවයට පැමිණියහ. ඒවා නම් දුගී භාවය හා කුසගින්න තුරන් කිරීම, ළමා අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානත්වය හා කාන්තාව බලගැන්වීම, ළමා මරණ අඩුකිරීම, මාතෘ සෞඛ්‍ය වර්ධනය, HIV – AIDS, මැලේරියාව හා අනෙක් රෝග මර්දනය පරිසර සංරක්ෂණය හා තිරසර සංවර්ධනය උදෙසා ලෝක මට්ටමින් හවුල්කාරීත්වයක් ගොඩනැගීම යනාදියයි. මේ ආකාරයට සහස්‍ර සංවර්ධන ඉලක්ක තවදුරටත් ඉදිරියට යමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වසර 2030 දී ලෝක ප්‍රජාව විසින් ළඟා කරගත යුතු තිරසර සංවර්ධන අභිමතාර්ථ 17ක් එළිදක්වන ලදී. ඒවා නම්. දුප්පත්කම තුරන් කිරීම, කුසගින්න තුරන් කිරීම හා වස විස නැති ආහාර ලබාදීම, නිරෝගී ජනතාවක් බිහි කිරීම , ජනතාවට නිසි අධ්‍යාපනයක් ලබාදීම හා සමාජීය දැනුවත්භාවය ඇති කිරීම, ස්ත්‍රී පුරුෂ සමානත්වය, පිරිසිදු පානීය ජලය ලබාදීම, හරිත බලශක්ති ප්‍රවර්ධනය, හරිත රැකියා හා හරිත ආර්ථික කටයුතු ප්‍රවර්ධනය, නව සොයාගැනීම්, කර්මාන්ත හා යටිතල පහසුකම් ගොඩනැගීම, සමාජ සාධාරණත්වය ඇතිකිරීම, ඇති නැති පරතරය අඩුකිරීම, තිරසර පුරවර ගොඩනැගීම, සකසුරුවම්කම හා පාරිභෝගික සබුද්ධිය ඇති කිරීම, දේශගුණික වශයෙන් යහපත් තත්ත්වයක් පවත්වා ගැනීම, මුහුද සුරැකීම, ජෛව විවිධත්වය හා පරිසරය සංරක්ෂණය මෙන්ම මෙම ඉලක්ක ජයගැනීම සඳහා සමාජ ආයතන එක්සත් කිරීම ආදියයි.
මෙම තිරසර සංවර්ධන ඉලක්ක අතර ප්‍රධාන අංශයක් වන්නේ පරිසර සංරක්ෂණය කෙරෙන හා මානව සෞඛ්‍යය සුරක්ෂිත කෙරෙන කාර්යක්ෂම සේවා පහසුකම් සහිත නගර එනම් “තිරසර පුරවර” ගොඩනැගීමයි.
නගර හා නාගරීකරණය
පැරණි මිනිසා ජීවත්වීම සඳහා සතුන් දඩයම මුල්කරගත් සංක්‍රමණික ජීවන රටාවක පසුවිය. නව ශිලා යුගය ඇරඹීමත් සමඟ සංක්‍රමණික ජීවිතය අවසන් කර ඔවුන් කෘෂි ජීවන රටාවකට යොමු විය. එහිදී ජලාශ්‍රිත ප්‍රදේශවල තම ජනාවාස ගොඩනගා ගත්හ. ක්‍රි.පූ.3500 දී පමණ පළමු නගර ලෙස මුල්ම ශිෂ්ටාචාර, මෙසපොතේමියාවේ යුප්‍රටීස්, ටයිග්‍රීස් නදිය ආශ්‍රිතව ද, ඊජිප්තු නදිය ආශ්‍රිතවද, ඉන්දු නිම්නය ආශ්‍රිතවද මෙන්ම චීනයේ හොවැංහෝ නදිය ආශ්‍රිතව ද බිහිවිය. අවුරුදු දහස් ගණනක ඇවෑමෙන් ඇති වූ ආගමික, විද්‍යාත්මක හා දේශපාලන පුනරුදය මගින් ඇති වූ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික සංසිද්ධි අද දක්වා වූ සමාජ විකාශනයට බලපෑවේය. වත්මන් ලෝක ප්‍රවණතා වන කාර්මීකරණය, නවීකරණය, වාණිජකරණය, නාගරීකරණය, ගෝලීයකරණය ආදිය නූතන සමාජ වෙනස්වීමේ ප්‍රධාන සමාජ ප්‍රපංචයක් ලෙස මෙහිදී හඳුනාගත හැකිය.
ඒ අනුව නාගරීකරණය විග්‍රහ කළ යුතු වන්නේ සමාජය වෙනස්වීමේ ප්‍රධාන අංගයක් ලෙසය. නගර (Urban) යන්න සරලව ගන්නේ නම් යම් නිශ්චිත ප්‍රදේශයක ප්‍රධාන ආර්ථික සමාජ හා පරිපාලන සේවා මධ්‍යස්ථානයයි. විධිමත් ක්‍රමවේද, මහජන පහසුකම්, මහජන සුරක්ෂිතතාවය, ශිෂ්ටභාවය හා මනා පාලනය මේවායේ පැවතිය යුතුය. නගරයේ ප්‍රධාන කොටස පුරය (City) වේ. නාගරීකරණය යනු නගර වෙත ජනයා වැඩි වැඩියෙන් ඇදී ඒමයි. මහජන ජීවිතයට බලපාන පහසුකම් අත්පත් කරගැනීමේ අපේක්ෂාවෙන් ජනයා නගරවලට ඇදී එන අතර ලෝකය පුරා නාගරීකරණය අසමාන ආකාරයෙන් මෙන්ම අසමාන ලක්ෂණවලින් සිදුව ඇත.
සංවර්ධනය වන රටවල නාගරීකරණය ඉතා සෙමෙන් සිදුවන අතර සංවර්ධිත රටවල එය වේගයෙන් සිදුවේ. උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ 82.4% කින් ද, බ්‍රිතාන්‍යයේ 79.6% කින් ද, ප්‍රංශයේ 85.8% කින් ද, බෙල්ජියමේ 97.5% කින් ද, ඕස්ට්‍රේලියාවේ 89.2% කින් ද, නාගරීකරණය වී තිබේ. ඉන්දියාවේ නාගරීකරණය 31.3% ක් වන අතර එය පාකිස්ථානයේ 36.2% කි. ශ්‍රී ලංකාවේ නාගරීකරණය 15% කි. ආසියානු රටවල සමාජ වෙනස්වීමේ වේගය 1.1% ක් පමණ වේ.
දියුණු රටවල වුවද නගර බිහිවීමේ ඉතිහාසය බලන විට ඒ සඳහා විශාල කාලයක් ගතවී තිබේ. උදාහරණයක් ලෙස ලන්ඩන් නගරය මහා නගරයක් ලෙස ගොඩනැගීමට සියවස් ගණනාවක් ගතවී ඇත. රෝම අධිරාජ්‍යයා විසින් රෝම නගරය ගොඩනගා වසර 1800ක් ගතවීමෙන් පසුව ලන්ඩන් නගරය ගොඩනැගී තිබේ. ඉන් අනතුරුව වසර 200 ක් වැනි කාලයකදී නූතන මිනිසාට ඉතිරි මහා නගර ගොඩනැගීමට හැකිවී තිබේ. වර්ෂ 1800 පමණ වන විට ලක්ෂයකට වැඩි ජනගහනයක් ජීවත් වන නගර බිහිකොට තිබුණේ කිහිපයක් පමණි. අනතුරුව වසර 200 ක කාලයක් තුළ මහා නගර 500කට ආසන්න ප්‍රමාණයක් ගොඩනැගීමට හැකිවී තිබුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරන්නේ වසර 2030 වන විට එනම් තිරසර යුගය තුළ ප්‍රකෝටි 5ක් හෙවත් ලෝක ජනගහනයෙන් 60%ක් පමණ නගරවල ජීවත් වනු ඇති බවයි. ඒ අනුව සමාජ වෙනස්වීමේ පරිණාම ක්‍රියාවලිය තුළ නූතන ලෝකයේ නගර බිහිවීම නොවැළැක්විය හැකි සමාජ සංසිද්ධියක් බවට පත්ව ඇත.
දස ලක්ෂය ඉක්මවා මිනිසුන් වාසය කරන මහා නගර 35ක් වත්මන් ලෝකය තුළ හඳුනාගත හැකිය. ඉදිරියෙන්ම සිටින්නේ මිලියන 38ක් ජනගහනය වාසය කරන ජපානයේ ටෝකියෝ නගරයයි. ලොව විශාලතම පුරවර භූමි ප්‍රදේශයක් සහිත නගරය ටෝකියෝ නගරයයි. දෙවැනි පුරවර නගරය වන්නේ ජකර්තා නගරයයි. තනි නගරයක් ලෙස ප්‍රමුඛ වන්නේ චීනයේ ෂැංහයි නගරයයි. එසේම මිලියන 20 – 38 අතර ජනගහනයක් සහිත මහා නගර 16ක් හා මිලියන 10 – 20 ත් අතර ජනගහනයක් සහිත මහානගර 23ක් ද හඳුනාගත හැකිය.
නගර වර්ගීකරණයට ගැනෙන සාධක වන්නේ නගරවල වාසය කරන ජනගහනය,මධ්‍ය නගරයේ සිට පිටතට දිවෙන බහු මංතීරු සහිත අධිවේගී මාර්ග, සුපිරි අධිවේගී මාර්ග, ගුවන් පාලම්. රට අභ්‍යන්තරයේ දිවෙන දුම්රිය මාර්ග, ඈත නගරවලට දිවෙන අධිවේගී දුම්රිය, දියුණු දුම්රිය හා බස්නැවතුම් ස්ථාන, තොරතුරු සන්නිවේදන පද්ධති, කාර්යක්ෂම ගමන් බලපත්‍ර, කඩිනම් සහ සැප පහසු මාර්ගස්ථ මෙට්‍රො පද්ධති, මොනෝ-ට්‍රැම් රේල් බස්, අහස උසට වූ මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ ගොඩනැගිලි, කාර්යක්ෂම සේවා පහසුකම්, නිදහස, ආකර්ෂණීය බව, මහජන සුරක්ෂිතභාවය යන සාධකයන්ය.
ලංකාවේ නගර ආරම්භය හා කොළඹ නගර සංවර්ධනය
පූර්ව රාජාණ්ඩු සමයේ ලංකාවේ විශිෂ්ට නගර නිර්මාණවේදයක් තිබූ බව ඓතිහාසිකව සාක්ෂි දරයි. විවිධ ආක්‍රමණ, දේශපාලන හා පාරිසරික සාධක මත ඒ ඒ යුග හා නගර බිඳවැටී ඇත. අනතුරුව යටත් විජිත යුගවල අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය පරිදි නගර හැඩගැස්වීම ආරම්භ විය. නිදහසින් පසුව “ශ්‍රී ලංකාවේ නගර බිහිවීම හා සංවර්ධනය සිදුවූ අතර අද වන විටත් සිදුවෙමින් පවතී. බොහෝ නගර අදටත් ප්‍රාථමික සේවා සපයන නගරයන්ය. 1978 වසරේ පිහිටුවන ලද නාගරික සංවර්ධන අධිකාරිය ලංකාවේ නගර සංවර්ධනය සඳහා ප්‍රයත්න දරමින් සිටී. තිරසර නගර සංවර්ධනයට හා සමාජ සුබසාධනයට විශාල මෙහෙවරක් සිදුකළ හැකි ලංකාවේ පළාත් පාලන ආයතන පද්ධතිය ප්‍රතිශෝධනයට ලක් කිරීමෙන්, විධි ක්‍රම හා ශ්‍රම සම්පත සංවර්ධනයෙන්, ඒවායේ කටයුතු මනා ලෙස නියාමනයෙන්, පටු න්‍යාය පත්‍ර අහෝසි කිරීමෙන් නාගරික සංවර්ධනයට විශාල මෙහෙයක් ලබාගත හැකිවේ.
කොළඹ නගර සංවර්ධනයට 1921 වසරේ සිට විවිධ ප්‍රයත්න දරන ලදී. ස්කොට්ලන්ත ජාතික භූගෝල විද්‍යාඥයෙකු වන පැට්‍රික් ගෙඩ්ස් විසින් “නගර, කලාපයට යා කෙරෙන නාගරික ප්‍රදේශ දාමයක්” පිළිබඳ සංකල්පය ඉදිරිපත්කරමින් කොළඹ උද්‍යාන නගරයක් කිරීමට පියවර ගන්නා ලදී. කොළඹ බෞද්ධාලෝක මාවත, තර්ස්ටන් මාවත, හෝර්ට්න් පෙදෙස, විජේරාම පෙදෙස ආදී මාවත් වෘක්ෂවලින් පිරී අලංකාර වී ඇත්තේ ද, බොරැල්ල ගොල්ෆ් ක්‍රීඩාපිටිය හරිතවත්ව ඉදිවී ඇත්තේ ද ගෙඩ්ස්ට අනුවය. 1949 වර්ෂයේදී ඇබකොම්බි නගර නිර්මාණ ශිල්පියා විසින් ද කොළඹ නගරය විධිමත් කිරීමට පියවර ගත් අතර උපනගර නිර්මාණයත්, රත්මලාන කර්මාන්තපුරය ඇති කිරීමත් සිදුවිය. 1976 වසරේදී කොළඹ පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් ද කොළඹ නගරයේ වර්ධනයක් ඇතිකරන ලදී. කොළඹ නගරය වාණිජ නගරයක් ලෙසත්, ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන නගරයක් ලෙසත් දියුණු කිරීමට 1985 වසරේ සිට පියවර ගනු ලැබූ අතර ඒ අනුව නගර සංවර්ධනයට අදාළව සුබවාදී වෙනස්වීම් රාශියක් සිදුවිය.
අනතුරුව පිටත වටරවුම මාර්ගය, ඇතුළත වටරවුම් මාර්ගය වශයෙන් කොළඹ නගරය හා අවට නගර සම්බන්ධ කිරීමට සැලසුම් සකස් කරන ලද අතර 2002 වසරේදී “මෙට්‍රොපොලිස්” යනුවෙන් අගනුවර සංවර්ධනය සඳහා කතිකාවක් ඇතිවිණි. 2005 වසරේ සිට කොළඹ නගර සංවර්ධනය හා අදාළව ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වූ අතර අධිවේගී මාර්ග ඇතිකිරීම, වරාය නගරයට පදනම දැමීම, මාර්ග සංවර්ධනය, නගර අලංකරණය, සංචාරක හෝටල් ඉදිකිරීම, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධන උද්‍යාන හා මංතීරු ඇතිකිරීම ආදී දේවල් සිදු කෙරිණි.
වත්මන් රජය “මෙගාපොලිස්” එනම් “මහා නගර යාය” නොහොත් කලාපය යන්න අරුත් දෙමින් බස්නාහිර පළාතේ නගර එකට සම්බන්ධ කිරීමටත්, විධිමත් සැලසුමක් ඔස්සේ තිරසර පදනමින් නගර සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වීමටත් කැපවී සිටී. මෙම වැඩපිළිවෙළ ඔස්සේ බස්නාහිර පලාතේ නගර හා උප නගර සංවර්ධනයත්, ජනතා අභිවෘද්ධියත් අපේක්ෂා කෙරේ. 1921 සිට ලංකාවේ නගර සංවර්ධන ප්‍රවේශයන් සැලකිල්ලට ගෙන වඩාත් ඉදිරිගාමී ප්‍රවේශයක් ඔස්සේ මෙගා පොලිස් ක්‍රියාන්විතය සකස් කර ඇති බව පැවසේ.
කොළඹ නගරයේ සංවර්ධනයට ඍජුව බලපාන නව මූල්‍ය නගර ව්‍යාපෘතියේ නගර ඉදිකිරීම්ද මේ වන විට කඩිනමින් සිදුවන අතර ඒ යටතේ කුලුනු 3කින් යුත් ගොඩනැගිලි සංකීර්ණ, මූල්‍යායතන, සාප්පු සංකීර්ණ, සුපිරි ආපනශාලා, රෝහලක්, පාසලක් හා හරිත උද්‍යානයක් ආදී අංග ද, කටුනායක අධිවේගී මාර්ගය යා කෙරෙන උමං මාර්ගයක් හා ගාලු මුවදොර සංවර්ධනයක්ද සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
නගරයේ පවතින වියවුල් බව අහෝසි කරමින් තිරසර සංවර්ධන මූලධර්ම අනුව නගර සංවර්ධන සිදුකිරීමටත්, හරිත කලාප ඇති කිරීමටත් හා ඒවා ප්‍රවර්ධනයටත් තෙත්බිම් ඇතුළු පරිසර සංරක්ෂණයටත් ප්‍රමුඛතාවය ලබාදීම නූතන සංවර්ධනයේ හා කොළඹ සංවර්ධනයේ විශේෂත්වයයි.
තිරසර නගර
ගෝලීය තිරසර නගර භාවිතාව අනුව එවැනි නගරයක ප්‍රධාන ලක්ෂණයන් වන්නේ පරිසරය සුරැකෙන, සම්පත් කාර්යක්ෂමව භාවිතා කෙරෙන, හරිත යටිතල පහසුකම් ඔස්සේ නගරය ගොඩනැගීමත්, නගර වැසියන්ට අවශ්‍ය සෞඛ්‍ය, ආහාර, නිවාස, ප්‍රවාහනය, රැකියා, සමාජ යුක්තිය, සුරක්ෂිතතාවය, කසළ කළමනාකරණය ඇතුළුව කාර්යක්ෂම පොදු සේවා පහසුකම් පැවතීමත් හා මනා පාලනයක් පැවතීමත් ය. මනුෂ්‍ය වාසයට හිතකර සෞඛ්‍යාරක්ෂිත, ප්‍රියජනක, සතුට උපදවන නාගරික සංස්කෘතියක් මෙවැනි නගරවල දක්නට ලැබේ.
තිරසර නගර යටතේ හරිත නගර ක්‍රමවේදය තුළ පිරිසිදු වායුව, පිරිසිදු ජලය, ශාකවලින් පිරුණු සුන්දර මංමාවත්, කුඩා ශාක හා හරිත ආවරණවලින් යුත් ගොඩනැගිලි, මහජන උද්‍යාන, ප්‍රජා මධ්‍යස්ථාන, ගෘහාශ්‍රිත ගෙවතු, කුඩා පොකුණු හා කුඩා වන ගොමු දක්නට ලැබේ. සම්පත් කාර්යක්ෂම කෙරෙන, සම්පත් සංරක්ෂණය කෙරෙන කාබන් අවම තාක්ෂණය ඔස්සේ හරිත නිමැවුම්, හරිත නවෝත්පාදන, හරිත රැකියා ආදී වශයෙන් හරිත ආර්ථික ක්‍රමවේදයන්ට තිරසර නගරයක ආර්ථිකය හැසිර වේ.
පොදුවේ බලන විට තිරසර නගර ක්‍රියාකාරීත්වයේදී කාර්යක්ෂම ඉඩම් පරිහරණය, ස්වභාවික පරිසර පද්ධති සුරැකීම, ජෛව විවිධත්වය සුරැකීම සිදුකරන අතර සම්පත් නාස්තිය අවම කෙරේ. මාර්ග පහසුකම්වලදී පහසු මාරුවීම් සඳහා ආරක්ෂිත ප්‍රවේශ, පයින් ගමන් කරන්නන්ට හා පාපැදිකරුවන්ට වෙන වෙනම මංතීරු පවතී. නාගරික ප්‍රදේශයට වාහන ඇතුළුවීම හා යතුරුපැදි ඇතුළුවීම පාලනය කර ඇති අතර ඒවා නීති හා බදු ක්‍රම මගින් මනා ලෙස හසුරවනු ලැබේ. ජලය, බලශක්තිය හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේදී පරිසර හිතකාමී තාක්ෂණය පුළුල් ලෙස යොදාගනු ලැබේ. මධ්‍ය නගර හා උප නගර අතර කාර්යක්ෂම ප්‍රවාහන පද්ධති, කාර්යක්ෂම පොදුජන පහසුකම් මෙන්ම සිවිල් ජනයාගේ ජන ජීවිතය උපරිම ස්වාධීනත්වයකින් හා සතුටින් විඳීමට පහසුකම් සලසා තිබේ. සැලසුම් කිරීමේදී මහජන සහභාගීත්වය යොදාගනු ලබන අතර පාරිසරික, සමාජ, ආර්ථික හා සංස්කෘතික සාධක දැඩි ලෙස සැලකිල්ලට ගත් ඉහළ ප්‍රජාතන්ත්‍රවාදීත්වයක් දක්නට ලැබේ.
ලෝකයේ උපරිම තිරසර භාවයක් සහිත නගර කිහිපයක් 2016 වර්ෂයේ තිරසර නගර මිනුම් දර්ශක අනුව මෙසේ දැක්විය හැකිය. ඒවා නම්, ස්විට්සර්ලන්තයේ සූරිච්, සිංගප්පූරුව, ස්වීඩනයේ ස්ටොක්හෝම්, ඕස්ට්‍රියාවේ වියානා, එංගලන්තයේ ලන්ඩන්, ජර්මනියේ ෆැරැන්ෆර්ට්, හැම්බර්ග්, හා මියුනිච්, දකුණු කොරියාවේ සෝල් හා චෙක් ජනරජයේ ප්‍රාග් යන නගරයන්ය. ජපානයේ ටෝකියෝ, හොංකොං, තායිලන්තයේ බැංකොක්, මැලේසියාවේ ක්වාලාලම්පූර්, චීනයේ ෂැංහයි යන නගර ද තිරසර ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක හරිත නගරයන් ය.
දියුණු රටවල තිරසර නගර මෙන් මෙරට අද හෙට තිරසර නගර ගොඩනැගිය නොහැකිය. එය කාලයක් ගතවන ක්‍රියාවලියකි. මේ වන විට තබා ඇති ඉදිරි පියවර ආපස්සට නොගැනීමට රටේ නායකයින් වගබලා ගත යුතුය. ගෝලීය වශයෙන් වත්මනේ හොඳ පසුබිමක් සැකසී තිබේ. එනම් 2030 වන විට තිරසර යුගයක් උදාකර ගැනීම පිණිස අදාළ අරමුණු සාක්ෂාත් කරගනිමින් ඉදිරියට යාමට වැඩ ක්‍රියාන්විතයක් සකසාදීමයි. එම ක්‍රියාන්විතයට රටේ නායකත්වයද ඉදිරිගාමී ප්‍රවේශයකින් කටයුතු කිරීම ද යහපත් තත්ත්වයකි. ලංකාව මධ්‍ය ආදායම් ලබන රටකි. අධ්‍යාපනය, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිතය, භාණ්ඩ හා සේවා පරිභෝජනය, ඉදිකිරීම්, මාර්ග සංවර්ධනය ආදී අංශවල ප්‍රශස්ත වර්ධනයක් දැකිය හැකිය. කෙසේ වුවද තවත් බොහෝ අංශවලින් අප ඉදිරියට යා යුතුය. ගුණධර්ම,හැදියාව, විනය, ශිෂ්ට බව, සහජීවනය හා උසස් ආකල්ප ආදිය සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කර ගැනීමට අප බොහෝ අභ්‍යාස කළ යුතු වේ. මේ පිළිබඳව අධ්‍යාපන බලධාරීන්, ආගමික ආයතන, මාධ්‍ය ආයතන හා පොදු සමාජයට විශාල වගකීමක් තිබේ. විධිමත් කසළ කළමනාකරණයට, පරිසරය සුරැකීමට, සම්පත් නාස්තිය අවම කිරීමට, ආයතනයේ, කාර්යාලයේ, වැඩ බිමේ ශ්‍රම කාලය කාර්යක්ෂමව ඉහළ ඵලදායීතාවයකට යෙදවීමට අප සැම වගබලා ගත යුතුය. රටේ අභිවෘද්ධිය පිණිස ක්‍රියාකාරී පුරවැසි සහභාගීත්වය මෙහිදී අත්‍යවශ්‍ය වේ. එසේම රටේත්, පොදුජනයාගේත් අභිලාෂය වන්නේ තිරසර මාවත ඔස්සේ පුරවර සංවර්ධනය මෙන්ම අන් සෑම අංශයකම අභිවෘද්ධියක් අත්කර ගැනීමය.
දීපාල් ද සිල්වා
0 Comments