දොන් බාරොන් ජයතිලක මහතා 1868 පෙබරවාරි 13 වෙනි දින මෙලොව එළිය දුටුවේය. දොන් ඩැනියෙල් ජයතිලක සේනානායක ලියනාරච්චි එතුමාගේ පියාය. මව එලිසා පෙරේරා වීරසිංහය.
මෙතුමා මූලික අධ්‍යාපනය ලබන්නට අත්පොත් තැබුවේ විද්‍යාලංකාර පරිවේණාධිපතිව වැඩ විසූ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමිපාණන් වහන්සේ අතිනි. විද්‍යාලංකාර පිරිවෙණෙහිදී සිංහල, පාලි, හා සංස්කෘත භාෂාවන් ඉතා දක්ෂ ලෙස ඉගෙන ගත්තේය.
ඉන්පසු ගමේ පාසල වූ වරාගොඩ පිහිටි බැප්ටිස්ට් විදුහලට ඇතුළත්ව අධ්‍යාපනය ලබා පසුව එවකට දිවයිෙන් ප්‍රකට ඉංග්‍රීසි පාසලක් වූ බොරැල්ලේ වෙස්ලි විදුහලට ඇතුළත් විය. වෙස්ලි විදුහලේ ඔහු කැපී පෙනෙන දක්ෂ ශිෂ්‍යයෙක් බවට පත්විය. කේම්බ්‍රිජ් කනිෂ්ඨ විභාගයත් කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ විභාගයත් ඉතා ඉහළින් සමත් කළ ජයතිලක මහතා කල්කටා සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත්තේය.
1890 වර්ෂයේ ඩී.බී. ජයතිලක මහතා මහනුවර ධර්මරාජ විදුහලේ විදුහල්පති පදවියක් ලැබීය. එහි දී තම වැටුපෙන් කොටසක් විදුහලේ සංවර්ධනය සඳහා යෙදවීමෙන් අන් අයට ආදර්ශමත් චරිතයක් බවට පත් විය. එවකට ධර්මරාජ විදුහල මහනුවර ප්‍රදේශයේ උසස්ම විද්‍යාලය බවට පත් කිරීමට ඔහු සමත්විය.
ඉන්පසු පරම විඥානාර්ථ සමාගම මඟින් එතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තනතුරට කැඳෙව්වේය. එහිදීද විදුහලේ දියුණුවට ඇප කැප වී කළ සේවය නිසා ජයතිලක මහතා ආනන්ද විදුහලේ විදුහල්පති තනතුරට පත් කෙරිණි. (1898. 12.15) ඔහුගේ කාර්ය ශූරත්වය නිසාම ඕල්කට් තුමාත් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියනුත් එක්ව ඔහු පරම විඥානාර්ථ සංගමයේ සභාපති පදවියට පත් කළේය. 1898 අගෝස්තු 12 වන දින එතුමා මල්ලිකා බටුවන්තුඩාව මෙනෙවිය සමඟ විවාහවිය.
ඔහු ආගම දහම කෙරෙහි දැඩි ඕනෑකමකින් සිටි අයෙකු නිසා බෞද්ධ බලයත් බුද්ධාගමත් ප්‍රචලිත කිරීමේ අපේක්ෂාවෙන් තරුණ කොටස් එකතුකරගෙන කොළඹ තරුණ බෞද්ධ සංගමය පිහිටුවා එහි ප්‍රථම සභාපති තනතුර දැරීය.
වැඩිදුර අධ්‍යාපනය සඳහා එතුමා ආනන්දයේ විදුහල්පති තනතුරින් හා පරම විඥානාර්ථ සංගමයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වී 1910 ජූලි 14 දින එංගලන්තය බලා පිටත් විය.
1910 අගෝස්තු 10 දින බර්ලින් ලෝක ආගමික සම්මේලනයේ දී ජයතිලක මහතා කළ දේශනය රටවල් පන්සියයකට අධික ප්‍රමාණයක සාමාජිකයන්ගේ ගෞරවයට පාත්‍රවිය. ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබාගත් ඔහු 1913 යළි ලංකාවට පැමිණ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු ලෙස කටයුතු කළේය.
මෙතැන් පටන් එතුමා සමාජ සේවයේ නියැලෙමින් පිරිවෙන් සභාව පිහිටුවීම, ආයුර්වේද අධ්‍යාපන ක්‍රමය ස්ථාවර කිරීම, සිංහල බෞද්ධයා, සිංහ ජාතිය, දිනමිණ වැනි පුවත්පත් ඇසුරු කරමින් බෞද්ධාගම ආරක්ෂා කිරීමට කටයුතු කළේය.
1921 බෞද්ධ බාලිකාවන්ට අධ්‍යාපනය ලබාදීමට ජෙරමියස් දියෙස් මැතිනිය විසින් ආරම්භ කළ විශාඛා විද්‍යාලයේ කළමනාකරු ලෙස ඩී.බී. ජයතිලක මහතා කටයුතු කළේය. 1923 ලංකා ජාතික සංගමයේ සභාපති පදවියටත් 1924 කොළඹ දිස්ත්‍රික්කයේ නිල නොලත් මන්ත්‍රී ධුරයකට පත්විය. 1930 ව්‍යවස්ථාදායක සභාවේ නියෝජ්‍ය සභාපති පදවියට පත් වූ ජයතිලක මහතා 1931 පැවැති මැතිවරණයේ දී නිතරගයෙන් කැලණිය ආසනයේ මන්ත්‍රී ධුරයට පත් විය. 1942 ස්වදේශ කටයුතු භාර ඇමැති ලෙස පත්වූ ජයතිලක මහතා සිංහල භාෂාව හා සාහිත්‍යයේ උන්නතියට කටයුතු කළේය.
බුදුගුණ අලංකාරය, සද්ධර්ම රත්නාවලිය, දම්පිය අටුවා ගැටපදය, සඛවළඳ හා සිඛවළඳ විනිස, තිසර සංදේශය හා ජාතක පොතෙන් කොටස්කීපයක් සිංහල භාෂා සාහිත්‍යයට එකතු කළේය. ජර්මන් ජාතික පඬිවරයකු වූ විල්හෙල්ම් ගයිගර් මහතා සමඟ එකතු වී සිංහල අකාරාදියක් සකස් කිරීම ආරම්භ කළේය.
1942 ඉන්දියාවේ ලංකා තානාපතිවරයා වශයෙන් මහඟු සේවයක් ඉටුකළ ඩී.බී.ජයතිලක නම් වූ මානව හිතවාදී නායකයා 1944 තම මව්බිම ට පැමිණෙන අතර මඟදී අභාවප්‍රාප්ත විය.
මෙතුමා අග්‍රගණ්‍ය බෞද්ධයෙකි. උගතෙකි. දේශපාලනඥයෙකි. අධ්‍යාපනඥයෙකි. සාහිත්‍යධරයෙකි. එහෙයින් ඩී.බී. ජයතිලක මහතා අභිමානයෙන් අගය කළ යුතු මානවහිතවාදියෙකි.
ඩබ්ලිව්.ඒ.ඩී.ටී. දයාරත්න
වෙස්ලි විදුහල කොළඹ


0 Comments