Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පිට පිට සම්මාන දෙකක් දිනා ජාතික පිලට එක්වූ තිලාන්

Author(s): 
ෆවුස් මොහොමඩ්

සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල

නව වසරේ පාසල් මහා ක්‍රිකට් තරග ආරම්භයත් සමග පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ උද්යෝගය හා උනන්දුව වැඩි කරමින් සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගැනීමට තරම් පෙරළිකාර දස්කම් දක්වන ක්‍රීඩකයන් සංඛ්‍යාව වැඩිවෙමින් තිබේ. එමෙන්ම මේ කීර්තිමත් සම්මානයට හිමිකම් කියමින් ජාතික කණ්ඩායමේ දොරටුවට තට්ටු කිරීමට බලා සිටින අප්‍රමාණ සංඛ්‍යාත ක්‍රීඩකයන් සිය දස්කම් මුවහත් කරගැනීම ආරම්භ කර තිබේ.

ඊට සමගාමීව සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ ගෞරවයට පාත්‍රවීමට සිය ප්‍රියතම ක්‍රීඩකයාට ඡන්දය ලබාදීමට ක්‍රීඩාලෝලින්ගේ උද්යෝගයත්, උනන්දුවත් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී.

නවතම ඡන්ද ප්‍රථිපල අනුව බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ සුපිරි ක්‍රීඩක සචින් සිල්වා තවමත් පෙරමුණේ පසුවන අතර ඔහු දැනට ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 5567කි. ඔහු ඉතා වේගයෙන් ඉදිරියට ඇදී යද්දී ආනන්ද විදුහලේ ගිෂාන් එදිරිසිංහ ඡන්ද 2740ක් ලබා දෙවැනි තැන පසුවෙයි. නවතම ඡන්ද ප්‍රථිපල අනුව කොටහේන සාන්ත බෙනඩික්ට් විදුහලේ ශෙහාන් ප්‍රනාන්දු ඡන්ද 1561ක් ලබා තුන්වැනි තැනට පත්වී සිටි.

පාසල් ක්‍රීඩකයන් අතර සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමේ තරගය ක්‍රිකට් තරගයක් සේ උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර ඉදිරියේදී තවත් ක්‍රීඩකයන් රැසක් ඡන්ද ප්‍රථිපල ලැයිස්තුවේ පෙරළිකාර වෙනසක් සිදුකරනු ඇතැයි අනාවැකි පළ කළ හැකිය.

මේ සියල්ල අතර ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා පසුකාලීනව ජාතික තලයේත්, ජාත්‍යන්තර තලයේත් විශිෂ්ට දස්කම් පෑ සිය ප්‍රියතම ක්‍රීඩකයන් පිළිබඳ තොරතුරු දැන ගැනීමට පාඨකයන් අතරත්, යොවුන් ක්‍රීඩකයන් අතරත් පුදුමාකාර උනන්දුවක් ද හට ගෙන තිබේ.

මේ රසවත් ලිපි පෙළට අද අප පාදක කරගන්නේ ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පිට පිට දෙවතාවක්ම දිනූ දෙවැනි ක්‍රීඩකයා පිළිබඳ තොරතුරු සටහන් කිරීමටය.

වසර 1983- 1984 දෙවසරේදී එවකට නාලන්දා විදුහලේ දීප්තිමත් පිතිකරුවා බවට පත්වී සිටි රොෂාන් මහනාම පළමු වතාවට පිට පිට දෙවතාවක්ම මේ ගෞරවනීය සම්මානය දිනාගැනීමෙන් පසුව එවැනි පෙරළිකාර දස්කමක් පෑ දෙවැනි ක්‍රීඩකයා බවට පත්වූයේ ආනන්ද විදුහලෙන් බිහිවී පසුකාලීනව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දිග්විජය කළ මේ සුපිරි පිතිකරු තිලාන් සමරවීරය.

ඔහු 1994-1995 දෙවසරේදී ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දෙවතාවක්ම දිනාගනිමින් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර ලකුණක් බවට පත්වීමට සමත්විය.

1976 වසරේ සැප්තැම්බර් මස 22 දා කොළඹදී උපත ලැබූ තිලාන් තුෂාර සමරවීර 19 හැවිරිදි වියට පා තැබුවේ මේ සම්මාන ද්විත්වයත් තුරුළු කරගනිමිනි.

ඉන් අනතුරුව 1998 වසරේ නොවැම්බරයේදී ඉන්දියාවට එරෙහිව සාජා නුවරදී සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරමින් ජාතික කණ්ඩායමට ඇතුළත් වූ මේ විශිෂ්ට දකුණත් පිතිකරුවා ඊට වසර තුනකට පසුව ඉන්දියාවටම එරෙහිව තම හුරුපුරුදු එස්.එස්.සී.පිටියේදී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් විශිෂ්ට ශතකයකට හිමිකම් කීවේ ජාත්‍යන්තර අවධානය දිනාගනිමිනි.

එදා ඔහු අංක 8 පිතිකරුවා ලෙස පිටියට පිවිස නොදැවි ලකුණු 103ක් රැස් කිරීමට සමත්වූයේ මිනිත්තු 201ක් කඩුල්ලේ රැඳී සිටිමිනි. පන්දු 175කට මුහුණදෙමින් හතරේ පහර10ක් සමග ඔහු ලැබූ අනර්ඝ ශතකය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔහුගේ ස්ථානය තහවුරු කළ එකකි.

පසුකලෙක ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය පිතිකරුවකු බවට පත්වූ තිලාන් සමරවීර සිය අවසන් ටෙස්ට් තරගය ලෙස ක්‍රීඩා කළේ 2013 ජනවාරියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නි නුවර පැවැති ටෙස්ට් තරගයටය.

වසර 2011 අප්‍රේල් මාසයේ ඉන්දියාවට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ තිලාන් ටෙස්ට් පිටියෙන් සමුගත්තේ තරග 81කට සහභාගි වී ශතක 14ක් සහ අර්ධ ශතක 30ක් සමග ලකුණු 5462ක් රැස් කරමිනි. ඔහුගේ තරග 53ක එක්දින තරග දිවියේ ලැබූ ලකුණු සංඛ්‍යාව 862කි.

කලක් බංග්ලාදේශ කණ්ඩායමේ පිතිහරඹ උපදේශකයා ලෙස සේවය කළ හෙතෙම වර්තමානයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරයි. මෙවැනි විශිෂ්ට පිතිකරුවන් රැසක් ජාතික පිලට එක්වූ සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල මේ වසරේදිත් ශ්‍රී ලංකා පිල ඉහළට ඔසවා තබන තවත් ක්‍රීඩකයකු බිහි කරනු ඒකාන්තය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();