Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතයට ක්‍රීඩිකාවෝ 21ක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආසියානු නෙට්බෝල් තරගාවලිය ඉලක්ක කොට පුහුණුව ලබන ශ්‍රි ලංකා නෙට්බෝල් සංචිතයට ක්‍රීඩිකා­‍වෝ 21ක් තෝරා ගැනෙති මේ සංචිතයට හිටපු නායිකාවන් දෙදෙනකුවන මරීෂා ප්‍රනාන්දු හා තිසාලා අල්ගම එක්ව නොසිටීම කැපී පෙනේ. මරීෂා ප්‍රනාන්දු පුහුණු කටයුතුවලට සහභාගීවීමේ අපහසුතාව මත හා තිසාලා අල්ගම ක්‍රීඩා කිරීමට නොහැකි බව පවසා සංචිතයෙන් ඉල්ලා අස්වීමට ලිපි යොමු කිරීම හේතුවෙන් ආසියානු නෙට්බෝල් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි කරගෙන ඇත. මරීෂා හා තිසාලා දිගු කලක් ශ්‍රී ලංකා නෙට්බෝල් පිල නියේජනය කළ ක්‍රීඩිකාවන් දෙදෙනකි.

මේ ක්‍රීඩිකාවන් දෙදෙනා මූලික සංචිතයේ නොසිටි අවස්ථාවක කරන ලද පෞද්ගලික ඉල්ලීම් අනුව සංචිතයට එක්වීමේ විශේෂ අවස්ථාවක් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය ලබාදී පුහුණුවීම්වලට එක්කර ගත්තද, පසුව ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික අවශ්‍යතාමත ඉවත්වූ බව සම්මේලන ආරංචි මාර්ග තහවුරු කළේය.

තිසාලා අල්ගමගේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ක්‍රීඩා වෛද්‍ය ඒකකය හරහා එම්. ආර්. අයි පරීක්ෂණයකට යොමු කොට සැහැල්ලු පුහුණුවීම් ලබාදීමට පියවර ගෙන තිබූ අවස්ථාවක ඉවත්වීමට අවශ්‍ය බව පවසා තිබේ. ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් වුවද ඇය නියේජනය කරන ආරක්ෂක සේවා කණ්ඩායමක් සමග ලබන මාසයේ විදෙස් තරගාවලියකට එක්වීමේ සූදානමක් ඇතැයි ද වාර්තා වේ.

තෝරාගත් ක්‍රීඩිකාවන් 21 ලබන අප්‍රේල් 27 වැනිදා පැවැත්වෙන තේරීම් පරීක්ෂණයේදී ක්‍රීඩිකාවන් 18ක් දක්වා අඩු කෙරෙන අතර ජූලි 14වැනිදා අවසන් තේරීම් පරීක්ෂණයෙන් සිංගප්පූරුව බලා පිටත්වන ක්‍රීඩිකාවන් 12ක් හා අතිරේක ක්‍රීඩිකාවන් 3ක් නම් කිරීමට නියමිතය. ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ලබන සැප්තැම්බර් 1වැනිදා සිට 9 වැනිදා දක්වා සිංගප්පූරු ක්‍රීඩා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා නෙට්බෝල් පිල 2009දී මැලේසියාවේ පැවැති තරගාවලියේදී අවසන් වරට ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් අතර 2012 සිට 2016 දක්වා අවස්ථා තුනකදීම අනු ශූරයන් බවට පත්විය. මෙවර ශ්‍රී ලංකා පිල පුහුණු කිරීම තිලකා ජිනදාස මෙනවියට භාරවී ඇති අතර සහය පුහුණුකාරිනියක් පත්කර නොමැතිවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය මෙසේය:

ගයාංජලී අමරවංශ, තර්ජනී සිවලිංගම්, සචිනි රුද්‍රිගූ, දර්ශිකා අඹේවික්‍රම, තිළිණි වත්තේගෙදර, සුරේඛා කුමාරී, ගයාත්‍රී විජේසූරිය, ලක්මාලී බණිඩාර, දුලාංගී ධනංජී, දුලාංගී වන්නිතිලක, අකිලා සංජී, ශ්‍යාමලී රත්නායක, හසිතා මෙන්ඩිස්, චතුරාංගනී වීරරත්න, රුසිරි විජේරත්න, ප්‍රියංගිකා බණ්ඩාර, තිවංකා පෙරේරා, ගයනී දිසානායක, රුවිනි යටිගම්මන, පූර්ණිමා ලක්මාලී, නවුජලී රාජපක්ෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();