ජාතික ක්‍රීඩකයන් නිරන්තරයෙන් ආබාධවලට ලක්වන බව අද අසන්නට ලැබෙන බවත් කුඩා කාලයේ සිට විවිධ ක්‍රීඩා ක්‍රියාකාරකම්වල නියැලීමෙන් මෙය වළක්වා ගත හැකි බවත් අධ්‍යාපන ඇමැතිවරයාගේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා පවසයි.
“අද ජාතික කණ්ඩායම්වල ක්‍රීඩකයන්ගේ අත් හදනවා. කකුල් හදනවා. බඩ අඩු කරනවා. පොඩි කාලේ ඉඳන් ක්‍රීඩා ක්‍රියාකාරකම් හා ව්‍යායාම කළොත් ලොකු වෙනකොට ආබාධ ඇති වන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍යංශයේ කාර්යභාරය වන්නේ පුංචි ළමයින්ගේ අත පය හදලා ශක්තිමත් ක්‍රීඩකයන් විදියට ජාතික මට්ටමට යොමු කිරීමයි“ ජයවීර මහතා කියයි.
සුනිල් ජයවීර මහතා මේ අදහස් පළ කළේ 3, 4 හා 5 ශ්‍රේණිවල දුවා දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන 2018 සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලිය පිළිබඳව පෙරේදා සවස ජයික් හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන මේ තරගාවලියට අනුග්‍රහය දක්වන්නේ නෙස්ලේ ලංකා ආයතනයයි.
පාසල් ළමයින්ට හොඳ ආහාර පුරුදු කිරීම, හිතකර ආහාර පිසීම, ආහාර සුරක්ෂිතතාව හා සනීපාරක්ෂාව පිළිබඳව උගන්වන Nestle Healthy Kids වැඩසටහනෙහි ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන Kids Athletics වැඩසටහන යටතේ මේ තරගාවලිය ක්‍රියාත්මක වේ.
“තරගාවලියක් හැටියට පැවැත්වූවත් මෙය ඇත්තටම තරගයක් නෙවෙයි. කුඩා දරුවන්...3, 4, 5 ශ්‍රේණිවල බාලක බාලිකාවන්ට ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් ඇති කරවීම මෙහි අරමුණයි. නමුත් සමහර පාසල් මේක තරගයක් කරගෙන තියෙනවා. ඔවුන් රුපියල් පනස්දාහ, හැත්තෑපන්දාහ දීලා පුහුණුකරුවනුත් අරගෙන තියෙනවා. පාසල ජයග්‍රහණය කරවන්න අද මව්පියන් මැදිහත් වෙලා ඉන්නවා. පාසලක් ජයග්‍රහණය කරවන්න අපට අවශ්‍ය නැහැ. මේ තරගාවලිය පහේ ශිෂ්‍යත්වයේ තත්ත්වයට පත් කරන්න අපට වුවමනාවක් නැහැ. ඒ නිසා ලබන වසරේ සිට මෙහි තරගකාරිත්වය අඩුවන විදියට මේ ළමා ක්‍රීඩා උළෙල පවත්වනවා“ යැයි සුනිල් ජයවීර මහතා කියා සිටියේය.
කුඩා දරුවන්ගේ එදිනෙදා ජීවිතයේ ඇවිදීම, දිවීම, කරකැවීම හා විසි කිරීම වැනි සාමාන්‍ය ක්‍රියාකාරකම් විද්‍යානුකූල පසුබිමක් යටතේ විනෝදය ලබා ගත හැකි වන ආකාරයට පෙළගස්වා ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන්ට අවශ්‍ය ශාරීරික ව්‍යායාම නිසි පරිදි ලබා ගත හැකි බවට අධ්‍යාපන අමාත්‍යංශය විශ්වාස කරයි. ශාරීරික ක්‍රියාකාරකම් වැඩසටහන්වල සිසුන් නිරත කරවමින් ඔවුනට ශාරීරික හා මානසික සමබර අධ්‍යාපනයක් හැදෑරීමට යෝග්‍ය පරිසරයක් පාසල තුළ ගොඩනැගීම සහ එලෙස ශාරීරික යෝග්‍යතා දියුණු කර ගන්නා සිසුන් අතරින් ක්‍රීඩා හැකියාවන් ඇති සිසුන් හඳුනා ගෙන ඔවුන්ගේ හැකියා හා කුසලතා ඔපමට්ටම් කිරීම මේ ළමා මලල ක්‍රීඩා තරගාවලියේ අරමුණ වී තිබේ.
“අවුරුදු දෙකක සිට පවත්වා ගෙන එන මේ තරගාවලිය 3, 4, 5 ශ්‍රේණිවල දරුවන්ට දැන් කාවැදී තියෙනවා. මේ තරගාවලියට මව්පියන්ගේ ඉහළම සහභාගිත්වය ලැබෙනවා“ යැයි ජයවීර මහතා පැවසීය.
“අද 9, 10, 11 වසරවල පාසල් ක්‍රීඩකයන්ටත් ආබාධ ඇති වෙන බව අසන්නට ලැබෙනවා. එහෙම වෙන්නේ කුඩා අවදියේ සිට මේ ක්‍රියාකාරකම් නොකරන නිසායි. මේ තරගාවලිය තුළින් ජනතාවත් දැනුවත් වෙනවා. මේ වන විට 3, 4, 5 ශ්‍රේණිවල ළමයින් ලක්ෂ දෙකකට වැඩිය මේ තරගාවලියට සහභාගි වී තිබෙනවා. ඉදිරියේදී 6, 7, 8 ශ්‍රේණිවලටත් මෙය ගෙන යා යුතුයි. ඕනෑම ක්‍රීඩාවකට අත්තිවාරම දමන්න මේ ක්‍රියාකාරකම් ඉතාමත් වැදගත්.“
නෙස්ලේ ලංකා ආයතනයේ උපසභාපති බන්දුල එගොඩගේ මහතා කතා කරමින් පවසා සිටියේ, මේ ළමා මලල ක්‍රීඩා උළෙල තරගයක් නොවන තරගයකට අවතීර්ණ වන සැටි කියා දෙන වැඩපිළිවෙලක් බවය.
අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ කර්නල් මංජුල කාරියවසම් මහතා මෙහිදී කතා කරමින් මෙසේ ප්‍රකාශ කළේය. “හය හත අට නවය වසරවල ළමයින්ට අවුරුද්ද පුරාම තරගාවලි තියෙනවා. නමුත් පොඩි ළමයින්ට එහෙම තරග නැහැ. මේ ළමා මලල ක්‍රීඩා තරගාවලියේ අරමුණ වන්නේ තුන හතර පහ ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දුවන්න, පනින්න, කැරකෙන්න, විසිවෙන්න ශාරීරික ක්‍රියාකාරකම් පුහුණු කිරීමයි.“


0 Comments