කුලියාපිටියේ ලිහිසි තෙල් අලෙවි සැලක් හා පන්නල ටයර් අලෙවි සැලක් බිඳ බඩු සොරා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිවු දෙනෙකුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් ඊට පෙර රටේ ප්‍රදේශ ගණනාවක ටයර් බැටරි හා ලිහිසිතෙල් අලෙවි සැල් බිඳ බඩු සොරා ගැනීමේ සිද්ධීන් 20ක් පමණ අනාවරණය විය.සොරකම් කරනු ලැබූ රුපියල් කෝටියක් පමණ වටිනා එම සොර බඩු විශාල තොගයක් මිදිගම ප්‍රදේශයේ නිවෙසක ගබඩා කර තිබියදි සොයා ගැනීමටද කුලියාපිටිය පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත්ව ඇත.
එම සොරබඩු තොගය, කුලියාපිටිය, පන්නල, හලාවත, රුවන්වැල්ල, අවිස්සාවේල්ල, කොට්ටාව, වත්තල, කොටදෙනියාව, රාගම යන ප්‍රදේශයන්හි ටයර්, බැටරි හා ලිහිසිතෙල් අලෙවි සැල්බිඳ සොරාගත් භාණ්ඩ බැව් සැකකරුවන් හෙළි කොට ඇත.
මෙම සොර කල්ලියේ ගමන් පහසුව සළසා ගැනීමට සොර බඩු ප්‍රවාහනයට කුලී පදනම මත ලබාගෙන තිබූ අති සුඛෝපභෝගී වෑන් රියක් හා මොටෝ රියක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
සොර කල්ලියේ සැකකරුවන් බද්දේගම, නාරම්මල, හබරාදූව හා අකුරැස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් බැව් ද පැවසේ.
ප්‍රධාන සැකකරු, ගිනි අවි සම්බන්ධව චෝදනාවකට රිමාන්ඩ් ගතව සිට අධිකරණයේ ඇප මත සිටින අයෙකු වන අතර, මෙම සොරකම් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමේ සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙන බැව් පොලිසිය පවසයි.
කුලියාපිටිය ලිහිසි තෙල් අලෙවි සැල හා පන්නල ටයර් අලෙවි සැල බිඳීමේ චෝදනා සම්බන්ධයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පොලිසිය මඟින් ඉදිරිපත් කෙරුණු සැකකරුවන් සිවුදෙනා 2018.03.12 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධමමික දිසානායක මහතා නියම කළේය.
කුලියාපිටිය කොට්ඨාශය භාර පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් හා ස. පො. අධිකාරිවරුන් වන ජාලිය හීන්කෙන්ද හා නිමල් බණ්ඩාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත, කුලියාපිටිය පොලිසියේ කොට්ඨාශ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උ. පො. ප. ඩබ්. එම්. ඒ. ඩී. වික්‍රමනායක, පො. සැ. වරුන් වන පියරත්න සෙනෙවිරත්න සිල්වා, විජේරත්න පො. කො.වරුන්වන වීරසේකර, ප්‍රියශාන්ත චමිල, සුමේධ රෝහණ, ප්‍රියදර්ශන ආනන්ද, මධුසංඛ හා පො.කො. රියැදුරු අනුර යන මහත්වරු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.
කුලියාපිටිය විශේෂ - ඩබ්ලිව්. රණසිංහ


0 Comments