හාල් 100 යි පොල් 100 යි කියලා පෝස්ටර් ගහනවා වෙනුවට පටු දේශපාලන විරෝධතා ඉවත් කොට රටට අවශ්‍ය ජලය පිළිබඳ ප්‍රශ්නය විසඳීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙලකට ගමන් කිරීම අවශ්‍ය යැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
හාල් පොල් අර්බුදය සඳහා තාවකාලිකව ආනයනය කිරීම මඟින් විසඳුම් ලබාදිය හැකි නමුත් රටක් ලෙස ආහාර සුරක්‍ෂිතතාවය අත්‍යාවශ්‍ය බව පෙන්වාදෙන ඒ මහතා ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම විධිමත් ජල කළමනාකරණයකට යා යුතු බවද කියාසිටී.
ඇමැතිවරයා මේ අදහස් පළකළේ දෙස් විදෙස්හි දේශපාලන හා සමාජීය කාරණා විෂ්ලේශනය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.
එහිදී අදහස් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,
‘මේ දවස්වල හාල් පොල් හරි ගණන්.
2011 -2012 කාල වකවානුවේදීත් ඇති වූ නියඟයත් සමඟ විශාල අර්බුදයකට රට ගමන් කළා . පොල් මිලත් හාල් මිලත් දෙකම 2011 -2012 කාල වකවානුවේ රුපියල් සියය ඉක්මවා ගියා. අදත් එම තත්ත්වයට රට මුහුණපාලා තිබෙනවා. සමහරු මේක පාලකයින්ට දොස් කියන්න හේතුවක් කරගෙන තිබෙනවා. අපේ කාලවල නම් මෙහෙම නැහැ. අපේ කාලවල නම් මේවා වහාම විසඳුවා. ආදී වශයෙන් ප්‍රකාශ කරන තත්ත්වයකට පත්වී ඇත. නමුත් පසුගිය සතියේත් මේ ප්‍රශ්නය මේ ලෙසම තිබුණු බව මතක තබාගත යුතුයි.
අද මේ අර්බුදය ප්‍රධාන හේතු වී තිබෙන්නේ රටේ එක ප්‍රදේශයක ගංවතුරත්, තවත් ප්‍රදේශයක නියං සායත් බලපෑම. ගංවතුර නිසා විශාල වශයෙන් අස්වනුවලටත්, එළවළු පළතුරු ආදියටත්, දේපලවලටත් විශාල වශයෙන් හානි සිදුවුණා. පසුගිය මැයි මාසයෙත් ඒ වගේම මේ මෑත කාලයේ ඇති වූ සුළි සුළං ආදි උවදුරුවලිනුත් මේ තත්ත්වය ඇති වුණා. ඒ වගේම අපගේ මත්ස්‍ය අස්වැන්නටත් විශාල බලපෑමක් දැන් ඇති වෙමින් තිබෙනවා.
ඒ වගේම නියඟය නිසා කන්න තුන හතර පාළු වී ගිය තත්ත්වයක්, රජරට කලාපයෙනුත්, විශේෂයෙන්ම කුරුණෑගල හා පුත්තලම ප්‍රදේශවලිනුත් දැක ගන්න පුළුවන්. විශේෂයෙන් පොල් ත්‍රිකෝණයට දරුණු අර්බුදයක් මේ නියඟය නිසා ඇති වී තිබෙනවා. ඊට අමතරව විශාල පොල් ඉඩම් ප්‍රමාණයක්, සංවර්ධනය මෙන්ම විවිධ කටයුතු සඳහා යොදා ගැනීමත්, කටුපොල් වගාව සඳහා හෙක්ටයාර් 20,000ක් පමණ නිදහස් වීමත්, ඒ වගේම රිලව් ආදී වනසතුන් ගම්වලට වැදීම නිසා ඇතිවන අනතුරුත් අපේ ආහාර සුරක්‍ෂිත භාවයට බලගතු තර්ජනයක් එල්ල කර තිබෙනවා.
මේ සියල්ල සැලකිල්ලට ගත්විට මෙය එක්තරා ආකාරයක දිගු කාලීන පරිසර ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකියි. ඇත්ත වශයෙන්ම මේ ඇතිවෙමින් තිබෙන්නේ ගෝලීය උණුසුමේ විවිධාකාර අතුරු ඵලයකි. ගෝලීය උණුසුම ඉහල යන්නේ ඇයි?, ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතු සාධක කිහිපයක් බලපානවා. ඉන් ප්‍රධාන හේතු සාධකය වන්නේ, තෙල්, ගල් අඟුරු, ගෑස් දියුණු යැයි සම්මත ජාතීන් විසින් අතිවිශාල ප්‍රමාණයෙන් පසුගිය අවුරුදු 150 ක 200 ක පමණ කාලය තුළ දහනය කිරීම නිසා වායු ගෝලයට අනවශ්‍ය ප්‍රමාණයෙන් කාබන් ඩයොක්සයිඞ් නිකුත් වීමෙන් ඇති වී තිබෙන තත්ත්වය මේ පිළිබඳව ම විසින් විවිධ අවස්ථාවල ඉතාම විද්‍යාත්මක විවරණ ගණනාවක් සිදුකර තිබෙනවා. කෙටියෙන් කිව්වොත් මේ වායු ගෝලයේ අද කාබන් ප්‍රතිශතය ඉහළ යාම නිසාත්, ඒ වගේම වනවගාවට සිදු වූ හානියත්, ඒ වගේම නොයෙක් ආකාරයට දැන් සිදුකරගෙන යන ෂෙල් ගෑස් ආදී ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අපට විවිධ වෙනත් අවකාශයට යොමුවීම නිසත් මේ ගෝලීය උණුසුම බලගතු ප්‍රශ්නයක් වී තිබෙනවා.
එයින් සිදුවන්නේ කුමක්ද? සූර්යාගෙන් එන විකිරණය ආපසු අභ්‍යවකාශයට නොගොස් පෘථිවිය තුළම කරකැවෙමින් පැවතීම. මේ නිසා පෘථිවියේ උෂ්ණත්වය අනුක්‍රමයෙන් ඉහළ යාම දැන් සිදුවෙමින් තිබෙනවා. එහි ප්‍රථිපලය කුමක්ද? ඉතා ඉක්මනින් ජලය වාෂ්ප වීමයි. සාගර ජලයත් අති විශාල වශයෙන් වාෂ්ප වෙමින් තිබෙනවා. ඒ වගේම ධ‍්‍රැවාසන්න ප්‍රදේශවල තිබෙන ස්ථිර හිමකඳු දියවී යාම. ස්ථිර හිම කඳු දිය වී යාමත් සමඟ සිදුවන්නේ කුමක් ද, සාගරයේ ජල මට්ටම ඉහළ යාම. ඒ වගේම පෘථිවියේ උණුසුම් වායු දහරාවන්, සිහිල් වායු ධාරාවන් ක්‍රමිකව එක් එක් මෝසම් වැසි අපට ඇති කරනවා. මේ මඟින් සිදුවී තිබේන්නේ අක්‍රමික මෝසම් වැසි තත්ත්වයක් ඇති වීමයි. ඒ අනුව හදිසියේ ඇද හැලෙන අධික වර්ෂාවන්, සුළි සුලං, මුහුද ගොඩ ගැලීම්, ඒ වගේම කරදිය මිරිදියට මුසුවීම වගේම නියඟයත් සිදුවෙන්නට නියමිතයි. ඒ අනුව දිගු කාලීනව රටේ වියළි ප්‍රදේශයන්වලට වියළි කාලගුණය තවත් වැඩිවීමට පුළුවන්. ඒ වගේම කෙටි කාලීන වශයෙන් හදිසි වර්ෂාවන් විසින් වියළි කලාපයේත් බරපතල ප්‍රශ්න ඇතිවීමටත්, දිගු කාලීන වශයෙන් තෙත් කලාපය තවදුරටත් තෙත් වී, පහත් බිම්වලට මුහුදු ජලය ගලා ඒමෙන්, එම ප්‍රදේශවල ජීවත්වන පිරිස්වලට විශාල ගැටළුවලට මුහුණ දීමට සිදුවිය හැක. ඒ වගේම විවිධ ජීව විශේෂවලට මෙයින් බරපතල ප්‍රශ්න මෙන්ම මුහුදේ කාබන් උකහා ගැනීම නිසා කාබනික අම්ලය ඇතිවීමෙන් මුහුදු ජලයේ තිබෙන කොරල් හා මත්ස්‍ය විශේෂවලට අනතුරු ඇතිවීමට නියමිතයි. ඒ වගේම මේ කාබනික අම්ලය රැගත් වැසි නිසා භව බෝගවලටත් හානි සිදුවිය හැකියි. විශේෂයෙන්ම තේ වගාව, වී වගාව වැනිවගාවන් වලට දරුණු අනතුරුවලට ගෝලීය උණුසුම වැඩිවීමත් සමඟ මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේම විවිධ කෘමීන් වර්ග, විවිධ ආක්‍රමණික ශාක වර්ගවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැක. ඒ ආකාරයෙන් සීඝ්‍රයෙන්ම ව්‍යාප්ත වන වර්ගයක් තමයි කෘමීන්. විශේෂයෙන්ම මදුරුවන්, කැරපොත්තන් වැනි සතුන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අනතුරක් මේ ගෝලීය උණුසුමත් සමඟ පවතිනවා.
මේ සම්බන්ධයෙන් ලෝකයේ විවිධ එකඟතා ඇති කර ගන්නට යනවිට දියුණු රටවල් එයට බාධා කරනවා. මෙවර නම් එයට ප්‍රබලතම බාධාව ඉදිරිපත් කළේ ඇමරිකා එක්සත් ජනපදයයි. 1997 දී කියෝතෝ සන්ධානය ඇතිකර, ඒ කියෝතෝ සන්ධානයෙන් ලෝකයේ උණුසුම නැති කරන්නට දියුණු රටවල් ඉදිරිපත් වූ අවස්ථාවේදී ඇමරිකා එක්සත් ජනපදයත්, කැනඩාවත් එම ක්‍රියාවලිය අවුල් කළා. අද මුළු ලෝකයටමත් ඒ රටවල් දෙකටත් මෙහි අතුරුඵලවලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. මෙමඟින් සිදුවන ඉතාම බරපතල ප්‍රශ්නයක් තමයි ආහාර සුරක්‍ෂිතතාවය අභියෝගයකට ලක්වීම. දැන් අපේ ශ්‍රී ලංකාවත් මුහුණ දී තිබෙන්නේ එවැනි තත්ත්වයකටයි. විශේෂයෙන්ම අපේ රජරට ශිෂ්ඨාචාරය බිඳ වැටුනායින් පසුව බ්‍රිතාන්‍ය යුගය 1960 වෙනකනුත් අපට බැරි උනා ආහාර සුරක්‍ෂිතාව ඇති කර ගන්න. ඇත්ත වශයෙන්ම රටට විශාල වශයෙන් සහල් ආනයනය කළා බුරුමය, තායිලන්තය වැනි රටවලින්. යාන්තමට හෝ අපේ රට සහල්වලින් ස්වයංපෝෂිත උනේ විශාල වාරිකර්මාන්ත වල පිළිසරණින් නොයෙක් වගාක්‍රම, බීජ වර්ග හා රසායනික වර්ග හඳුන්වාදීමේ ප්‍රථිපළයක් ලෙස 2010න් පස්සේ. නමුත් රසායනික ද්‍රව්‍යවල ප්‍රශ්න නිසා ජලය වස විස වීමෙන් වකුගඩු රෝගය ආදී දේවල් වලටත් මුහුණ දෙන්න අපට සිදු වුණ බව අමතක නොකළ යුතුයි.
ඒ වගේම වාණිජ පොල් වගාව, ව්‍යාප්ත උනත් අද අපේ රටේ ජනතාවට එදිනෙදා එළවළු, මාළුවලට අවශ්‍ය පොල්වත් සකසා ගන්න බැරි තරමට නියඟය, ඒ වගේම පොල්වතු කැබලි කිරීම හා වනජීවින්ගෙන් ඇතිවන හානි නිසා පොල් වගාව අභියෝගයට ලක්ව තිබෙනවා. ඒ නිසා පොල් 100 යි, හාල් 100 යි කියලා පෝස්ටර් ගැහුව පමණින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. 2011 දිත්, පොල් 100 යි, හාල් 100 යි උනා. ඒ නියඟයත්, ඒ වගේම ආපු හදිසි ගංවතුරත් නිසා. ඒ නිසා මේ ගෝලීය තත්ත්වයට මුහුණදීම සඳහා අපි දිගු කාලීනව රටක් හැටියට මුහුණ දීමට සූදානම් විය යුතුයි.
අප මතක තබා ගත යුතුයි 2020න් පස්සේ කොළඹ හා අවට ප්‍රදේශයන්ට ජලය සැපයීමේ බරපතල අර්බුදයක් ජල මණ්ඩලයට තිබෙනවා. අවුරුදු 40 කින් නව ජලාශ ඉදිකර නැහැ. ඒ නිසා අපි වහාම නව ජලාශ ඉදිකළ යුතුයි. නව ජලාශ ඉදිකරන්න ගියහම නොයෙකුත් විපක්‍ෂ දේශපාලන පක්ෂ ජලාශ ඉදිකරන ප්‍රදේශවල ජනතාව බියවද්දමින් ඊළඟ මැතිවරණයේ වාසි ලබාගන්න කටයුතු කරනවා. මතක තබාගත යුතුයි බස්නාහිර පලාතට පානීය ජල අර්බුදයක් තිබෙනවා. ඒ අර්බුදයට කිසියම් ආකාරයට විසඳුම් හොයන්න දරණ උත්සාහයට එරෙහිවන සියළුම දෙනා බස්නාහිර පළාතේ ජනතාව පරාජය කළ යුතුයි. ඒ වගේම රටේ තවත් ප්‍රදේශවලට විශේෂයෙන්ම මොණරාගල, පුත්තලම, කුරුණෑගල ආදී ප්‍රදේශවල විශාල ඉඩම් ප්‍රමාණයන් තිබෙනවා තවමත් වගා කළහැකි. නමුත් ක්‍රමවත් වාරිමාර්ග ක්‍රමවේදයක් නැහැ. අනෙක් පැත්තෙන් කළු ගඟ, කැළණි ගඟ වගේම ගිං ගඟ, අත්තනගලූ ඔය, විවිධ අවස්ථාවල ගංවතුරෙන් විශාල හානි අපේ රටට සිදු කරනවා.
ඒ නිසා කළු ගඟේ, ගිං ගඟේ වැඩි ජලය මොණරාගලට, හම්බන්තොටට ගෙනයාම අත්‍යාවශ්‍යයි. ඒ වගේම කැළණි ගඟේ,අත්තනගලූ ඔයේ වැඩි ජලය වහාම පුත්තලමට, කුරුණෑගලට ගෙනයාම අත්‍යාවශ්‍යයි. මෙය රටට ඉතාම අත්‍යාවශ්‍ය දෙවෙනි කාරණය පොල්වගාවත්, වී වගාවත්, සෙසු බෝග වගාවනුත් ගලවා ගැනීමට නම්. ඒ වගේම ගංවතුරෙන් ඇතිවන උවදුරු පාලනය කර මේ කැළණි ගඟ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අත්‍යාවශ්‍ය බව මම කිහිප වතාවක අවධාරණය යොමු කර තිබෙනවා. දැනටමත් අපට තිබෙන්නේ සුද්දන් විසින් ඉදිකළ බන්ට් ටික. විශේෂයෙන්ම කැළණි ගඟ දෙපස හාවඞ් බැම්ම, කැළණි බැම්ම, අඹතලේ බැම්ම, වගේම කොළඹ නගරය ගලවා ගැනීම සඳහා තිබෙන නාගලගන්වීදිය බැම්ම, මේවා සියල්ලම අවුරුදු 100ක්, 150 ක් පැරණියි. අපි වහාම ගංවතුර උවදුර පාලනය කර, ම විසින් යෝජනා කර තිබෙන පරිදි කඩුවෙල සිට දෙපසින් කැළණි ගඟ ආරක්‍ෂා කළ යුතුයි. ඒ වගේම කැළණි ගඟ නාවුක ප්‍රවාහන සේවාවක් බවට පත්කළ යුතුයි. ගඟ දෙපස ජනාවාස සක්‍රීයව නැවතත් බිහිකිරීමේ වැඩපිළිවෙලක් අපට අවශ්‍යයි.
මේ ආකාරයට එක් පැත්තකින් බස්නාහිර පළාතේ ගංවතුර පාලනය කිරීමත්, දෙවනුව එම වැඩි ජලය නියං සහිත ප්‍රදේශවලට ගෙනයාමටත්, බස්නාහිර පළාතේ නාගරීකරණයට අවශ්‍ය පානීය ජලය ගොඩනැගීමට දිගු කාලීන ජල ක්‍රමවේදයක් රටට අවශ්‍යයි. අද රටට අවශ්‍ය අධිවේගී මාර්ගවලට වඩා ලංකාවේ අනාගත ජල ගැටළුව විසඳීමටයි. ඒ හරහා පමණයි මේ හාල් පොල් අර්බුදය විසඳා ගත හැක්කේ. හාල් පොල් අර්බුදය තාවකාලිකව ආනයනය කිරීම මඟින් බේරා ගැනීමට පුළුවන්. නමුත් රටක් හැටියට ආහාර සුරක්‍ෂිතතාවය අපට අත්‍යාවශ්‍ය නම්, අපි අනිවාර්යයෙන්ම විධිමත් ජල කළමනාකරණයකට යා යුතුයි.
0 Comments