Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනය අතින් ඉන්දියා සාගරයේ කේන්ද්‍රස්ථානය කිරීමේ හැකියාව තිබෙනවා

Author(s): 
උපාලි කරුණාරත්න

ඉන්දියන් සාගර කලාපයේ ඇතිවෙමින් තිබෙන වර්ධනීය තත්ත්වය නියමාකාරයෙන් ප්‍රයෝජනයට ගත හොත් අපට ආර්ථික වර්ධනය අතින් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවටත් පත්වීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඇතිවී තිබෙන ස්වර්ණමය අවස්ථාවෙන් අප ප්‍රයෝජන ගෙන එම තත්ත්වය කරා ළඟා විය යුතු බව අගමැති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (11) කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති හොඳම ශ්‍රී ලාංකීය වෙළෙඳ නාම -2017 සම්මාන උළෙලට සහභාගි වෙමිණි.

මෙහිදී හොඳම වෙළඳ නාමය‍ ලෙස ලංකා බැංකුව අග්‍රාමාත්‍යවරයා අතින් සම්මාන ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා-

මෙරට ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන හොඳම වෙළඳ නාම අතරට රැගෙන ඒම හොද දෙයක් බව මම විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂයත් හොඳම වෙළෙඳ නාමයක්.

අද සම්මාන උළෙලේ දී රාජ්‍ය බැංකු ඉදිරියට පැමිණියා. එම නිසා ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය නැහැ කියා මම ප්‍රකාශ කරන්නේ නැහැ. ලෝක වෙළඳ පොළ තුළ කිසිම නිෂ්පාදනයකට හොඳ වෙළඳ නාමයක් නැතිව ගමන් කිරීම පහසු නැහැ. ලෝකයේ තිබෙන වෙළඳ නාම වර්ගීකරණය පිළිබඳව අප හොදින් තේරුම් ගන්න ඕනෙ. එවිට අපටත් ඒවා සමඟ හොද තරගයක් දිය හැකියි.

හොඳ වෙළඳ නාමයක තිබෙන වටිනාකම අප තේරුම් ගනිමින් අපේ නිෂ්පාදන පෙරට රැගෙන යමු. මීට පෙර කතා කළ ඉන්දියාවේ, ජර්මනියේ, එංගලන්තයේ කථිකයන් ලෝක වෙළෙඳ පොළේ පවතින ජනප්‍රිය වෙළෙඳ නාම පිළිබඳව සහ ඒවායේ වටිනාකම් පිළිබඳව පෙන්වා දුන්නා.

සම්පත් නැතිව කාර්මික විප්ලව කරන්න බැහැ. ආසියාවේ බොහෝ රටවල් දෙස බැලීමේ දී අප සිටින්නේ පසුපස. අපට දියුණුවීමට තිබූ බොහෝ අවස්ථා අප විසින් නැතිකර ගත්තා. අපට හොඳ ගමනක් යාමට තිබූ බස් එක බොහෝ අවස්ථා වලදී අප මගහැර ගත්තා. එය 1950- 1960-1970 වේ විය හැකියි.

ඉන්දියන් සාගර කලාපයේ රටවල ඇතිවෙමින් තිබෙන වර්ධනීය තත්ත්වය අපද ප්‍රයෝජනයට ගත යුතුයි. අප මේ අවස්ථාව මඟ හරින්න හොඳ නැහැ. මේ අවස්ථාවද අප මඟ හැරියහොත් අපට ඇෆ්ගනිස්ථානයට ටිකක් ඉහළින් සිටින්න හැකිවේවි. ඉන්දියන් සාගර කලාපයේ ඇතිවෙමින් තිබෙන වර්ධනීය තත්ත්වය නියමාකාරයෙන් ප්‍රයෝජනයට ගත හොත් අපට ආර්ථික වර්ධනය අතින් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවටත් පත්වීමේ හැකියාව තිබෙනවා. ඇතිවී තිබෙන ස්වර්ණමය අවස්ථාවෙන් අප ප්‍රයෝජන ගනිමු.

ලෝකයේ බොහෝ රටවල් දියුණුව කරා ගමන් කිරීමේ උත්සාහයක නිරත වෙනවා. මහාද්විප දෙස බැලීමේදී මෙය හොදින් පෙනෙනවා. අප අවට තිබෙන රටවල් දෙස අවධානය යොමු කළ යුතුයි. අප සිටින්නේ ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක. රටක් ඉදිරියට ගෙන යාම සඳහා නව තාක්ෂණය යොදාගත යුතුයි. රටක් ආර්ථික වශයෙන් දියුණු කිරීමේදී අනිවාර්යයෙන්ම තරඟ කාරීත්වයට මුහුණ දිය යුතුයි. තරඟකාරීත්වයට මුහුණ නොදී ශක්තිමත් ගමනක් අපට යාමට නොහැකියි. තරඟකාරීත්වයට මුහුණ දෙමින් අප නිවැරැදිව ගමන් කළහොත් සැළසුම්ගත කේන්ද්‍රීය ස්ථානයක් බවට පත් වෙන්න පුළුවන්. අපට ත්‍රිකුණාමලය හම්බන්තොට කොළඹ වරායන් තිබෙනවා. ඉදිරියේදී මේවායේ වාණිජ කටයුතු තවදුරටත් පුළුල් වනවා.මේ වරායන් දියුණු තත්ත්වයට පත් කරන්න අප රටවල් ගණනාවක් සමඟ කටයුතු කරනවා.

දියුණු නිෂ්පාදන සඳහා අප වැඩි අවධානය යොමු කළ යුතුයි. මෙරට කෘෂිකර්මාන්තය නවීකරණය කළ යුතුයි. අපට මේවා කරන්න පුළුවන්. ඒ වගේම රටේ මූල්‍ය තත්ත්වය නියමාකරයෙන් හසුරුවාගත යුතුයි. ආයෝජනයන්ට තිබෙන සියලු බාධා ඉවත් කළ යුතුයි. රට ඉදිරියට ගෙන යාමට නිවැරැදි තීරණ ගත යුතුයි. අපට බොහෝ ආර්ථික සහනයන් මේ වන විට ලැබෙමින් පවතිනවා. ඉන්දියාව, චිනය, සිංගප්පූරුව සහ තවත් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් අප ඇතිකර ගන්නවා. තාක්ෂණ සහයෝගීතා ගිවිසුම් ඇතිකර ගත යුතුයි. ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් මඟින් එරට ප්‍රාන්ත ගණනාවක් සමඟ සම්බන්දතා ඇති වෙනවා. රටවල් සමඟ ඇතිකර ගන්නා නිදහස් වෙළඳ ගිවිසුම් මිඟින් ඩොලර් ට්‍රිලියන ගණනක ආර්ථික කලාපයන්ට අප ඇතුළත් වෙනවා. හැබැයි අපට මේ සෑම දෙයක්ම කරන්න තරඟකාරීත්වය අවශ්‍යයි. අප රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රබලයන් මේ අභියෝගය භාරගෙන තිබෙනවා.

මෙහිදී වෙළඳ නාම විස්සක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ ආයතන ප්‍රධානීන්ට නියෝජිතයන්ට සහතික පත් ප්‍රදානය කරන ලදී. පළමු ස්ථානය ලංකා බැංකුව දිනා ගන්නා ලදී. ඉන් පසුව පිළිවෙළින් මහජන බැංකුව, ඩයලොග්ස්, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනැල් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලයන්ස්, සම්පත් බැංකුව, ජොන් කීල්ස් හෝල්ඩින්, එලිපන්ට් හවුස්, කාගිල්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම්, හේලීස්, සිනමන් හොටෙල්, හේමාස්, සෙලින්කෝ ඉන්ෂූරන්ස්, එල් බී ෆිනෑන්ස්, ඩෙල්මා, එයිට්කන්ස් ස්පෙන්ස්, රොසෙල් ආයතන අග්‍රාමාත්‍යවරයා අතින් සහතික පත් ලබා ගත්හ.

මැති ඇමැතිවරුන්, විදෙස් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, හිල්ටන් හෝටල් සමුහයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා, ඩේලි එෆ් ටී ප්‍රධාන කර්තෘ නිෆ්තාර් කසීම් සහ මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප- හිරන්ත ගුණතිලක 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();