Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මං හිතන්නේ ගැහැනියක් ලස්සන අනවශ්‍ය විදිහට නිරාවරණය නොවන තරමටයි - Abhisheka Wimalaweera

මං හිතන්නේ ගැහැනියක් ලස්සන 
අනවශ්‍ය විදිහට නිරාවරණය නොවන තරමටයි
අභිෂේකා විමලවීර

නිවේදිකාවක්, ගායිකාවක් හැටියට කාගේත් සිත් කොනක ලැගුම්ගත් ඇය මේ වෙනකොට රියැලිටි වැඩසටහන් විනිශ්චයකාරිනියක්ද වෙනවා. නමින් ඇය කවුරුත් හඳුනන අභිෂේකා විමලවීර. සිරස ‘junior super star’ හරහා ආලින්දය සරසන ඇයට ඉඩක් වෙන් කෙරුණේ මේ අලුත් අත්දැකීම වගේම සිය පුද්ගලික ජීවිතේ තොරතුරුත් ටිකක් කතා කරන්නයි.


මොනවද අලුත් තොරතුරු?
මේ දවස්වල නම් වැඩි හරියක්ම කාලය ගතවෙන්නේ ජූනියර් සුපර් ස්ටාර් එක්ක. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතුයි, ව්‍යාපාර කටයුතුයි කරගෙන යනවා. ඒ වගේම අලුතින් මියුසික් වීඩියෝ එකකුත් කළා. ඒ සියලු වැඩ කටයුතුත් එක්ක සතුටින් ජීවිතේ ගෙවනවා.

ජූනියර් සුපර් ස්ටාර් හරහා ලැබෙන අලුත් අත්දැකීම මොනවගේද?
ගොඩක් සතුටින් ඒ වැඩකටයුතු කරගෙන යනවා. පටන් ගත්තු පළමු වැඩසටහනින්ම නොහිතපු විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණා. එක රැයකින් මේ හරහා විශාල පිරිසක් සිරස වටා එකතු වුණා. මුලින්ම අපිත් හිතුවේ කාලයත් එක්ක මිනිස්සු ටික ටික අපිව වැලඳගනියි කියලා. නමුත් පළමු අත්දැකීමෙන්ම ලංකාවේ රියැලිටි කලාවේ අංක 01 වෙන්න තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියලා අපි බලා‍පොරොත්තු වුණේ නැහැ. හිතාගන්න බැරි තරම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

එහිදී විනිශ්චය මණ්ඩලයේ සංවේදී වීම ගැන සමාජයේ කතාබහක් ඇතිවෙලා තියෙනවා නේද?
ඇත්තටම ඒ ඇහෙන, දකින, විඳින දක්ෂතා ඉස්සරහා සංවේදී නොවන්නේ කවුද කියන දේ තමයි මට හැඟෙන්නේ. මම හිතන්නේ මටත් වඩා හේෂාන්, ප්‍රදීප් දෙන්නා ගොඩක් සංවේදී වෙනවා. දැනට කරලා තියෙන කොටස්වලදී මට ආවේ නැති කඳුළු හේෂාන්ටයි, ප්‍රදීප්ටයි ආවා. ඇත්තටම මේ සංවේදී වීම හදවතින්ම සංවේදී වීමක් මිස ලෝකෙට පෙනේනන්න කරන දෙයක් ‍නෙවෙයි.

මේ හරහා දකින දක්ෂතාවයන් ගැන මොන වගේ හැඟීමක්ද ඔබට තියෙන්නේ?
දක්ෂතාවයෙන් ඔවුන් සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. ඇත්තටම තවත් රටක අත්දැකීමක් ලංකාවේ ප්‍රේක්ෂකයන් අතරට එනකොට මොන වගේ අභියෝගවලට මුහුණ දෙන්න වෙයිද කියන තැනයි අපි හිටියේ. ඒ දරුවෝ විනිශ්චය මණ්ඩලයට අභියෝග කරන්න තරම් ඉස්සරහින් ඉද්දි අපේ දරුවොත් ඒ මට්ටමට ඇවිත් අපිට අභියෝගයක් වෙයිද කියන සැකය අපිට තිබුණා. කියන්න සතුටුයි සහ ආඩම්බරයි අපටත් ඉන්නවා ගොඩක් දක්ෂ, ඒ වගේම බය නැති දරුවෝ පිරිසක්. ඔවුන්ගේ අනාගතය හරිම පැහැදිලියි.

ඔබ හිතනවාද ඔබගෙන් සාධාරණ විනිශ්චයක් ලැබෙනවා කියලා?
ඔව්, මං හිතනවා. මම උපරිම සාධාරණය ඔවුන් වෙනුවෙන් ලබාදෙනවා කියලා. මොකද මම හැමවිටම උත්සාහ කරන්නේ දුර්වලකම් කොතරම් තිබුණත් ඉස්මතු වෙන එකම දක්ෂතාවයට තැනක් දෙන්නයි. ඒ විදිහට පුළුවන් තරම් දුරක් අතින් අල්ලන් ඔවුන්ව ඉදිරියට රැගෙන යනවා. නමුත් ඉදිරියේදී දක්ෂතාවයට පමණක් අවධානය දෙන්නත් දවසක් ඒවි.

විනිශ්චය මණ්ඩලයේ ඔබටත් තැනක් වෙන්වීම ගැන මොනවද කියන්න තියෙන්නේ?
එතැනදි ‍පොඩි දෙයක් තියන්න තියෙනවා. මොකද ඇත්තටම මට හොඳම සිංහල කතා කරන්න පුළුවන්. මේ වැඩසටහනේ පළවැනි දවසේ විනිශ්චය මණ්ඩලයේ වාඩිවෙනකොටත් මම කොහොම ප්‍රතිචාර ඒ දරුවන්ට දක්වයිද කියලා මමත් දන්නේ නෑ. ඒ වැඩසටහන තුළ අපි ලබන සජීවී අත්දැකීම ඒ වෙලාවට එන හැඟීම ඇත්තටම වචනවලින් කියන්න අමාරුයි. ගොඩක් දෙනෙක් මට කියලා තිබුණා මම ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා කියලා. ඒ වගේම ඒ දරුවන්ගේ බය නැති කරලා දරුවන්ගේ දක්ෂතාව වෙනුවෙන් ඔවුන්ට සමීප වීමත් වැරදියට දැකපු පිරිසක් හිටියා. මම දකින්නේ එතැන තියෙන්නේ ස්ත්‍රීවාදය කියලයි. අපි ගොඩක් සම්ප්‍රදායට රාමුගතවෙලයි ඉන්නේ. එතැනින් එහාට ගිහින් දරුවන්ගේ දක්ෂතා ලෝකෙට විවෘත කරන්නයි අපි උත්සාහ කරන්න ඕන.

අලුතින් කරපු ගීතය ගැන කතා කළොත්?
‘නිස්සාර සංසාර හීනයේ’ නමින් අලුත් සින්දුවක් කළා. රන් රිදී ගීතයෙන් අවුරුදු දෙකකට පස්සෙයි අලුතින් සින්දුවක් කළේ. ගීතය රචනා වුණෙත් මං අතින්මයි. ගීතය ගායනයත්, රූපරචනයත් මගෙමයි. සංගීතය දිලුම්ගේ. ආදරෙන් ලැබෙන විරහවත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්නේ කොහොමද කියන කතාවයි මේ ගීතයෙන් කියන්න උත්සාහ කරන්නේ. තවත් සති දෙකකින් විතර එය රස විඳින්න හැකිවේවි.

ඔබේ පරම්පරාවේ කලාකරුවන්ගේ නිර්මාණ ගැන ඔබේ අදහස මොකක්ද?
ඇත්තටම මෙතැන තියෙන්නේ පරම්පරා පරතරය. අද විතරක් ‍නෙවෙයි කලින් පරම්පරාවෙත් හොඳ සහ නරකයි කියන නිර්මාණ බිහිවුණා. නමුත් මේ අංශ දෙකම රසවිඳින සහෘද පිරිසක් කලාකරුවා වටා රැඳිලා ඉන්නවා එදා වගේම අදත්. අනාගතයෙත් කලාවේ සුදු සහ කළු කියන දෙවර්ගයක් ඉන්නවා. සමාජයේ අවධානය ගන්න කළාට යොදාගන්න පිරිසකුත් කලාව තුළින් සමාජයට පණිවිඩයක් දෙන්න යොමුවුණු පිරිසකුත් හැම පරම්පරාවකම ඉන්නවා. එතැනදි තේරීම තියෙන්නේ ප්‍රේක්ෂකයන් ළඟයි. එකිනෙකාගේ රසවින්දන පරාසය විවිධයි.

ඔබ තුළ හිටිය නිවේදිකාව දැන් දකින්න නෑ නේද?
නිවේදනයට නිමාවක් තියලා මේ වෙනකොට අවුරුදු 10ක් විතර වෙනවා. මගේ දක්ෂතාව සහ කැමැත්ත තියෙන්නේ ගායනයට. ඉතින් දක්ෂයි කියලා හැම දෙයක්ම නියෝජනය කරන්න ගිහින් අනවශ්‍ය කාර්යබහුලත්වයක් එකතු කරගන්න ඕන නෑනේ. ඉතින් මම සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට නම අරන් යන්න ඒ වෙනුවෙන් උපරිමව කැපවෙනවා.

එතකොට ඔබේ ව්‍යාපාර කටයුතු ගැන කතා කළොත්?
මේ වෙනකොට ‘අභි ෆැෂන්’ නමින් වෙඩින් ච්පඥඵඵ ඉඩධන එකක් කරගෙන යනවා. ඊට අමතරව සැලෝන් එකක් කරනවා. කොල්ලුපිටියේ දැනට සැලෝන් එක කරගෙන යනවා. ඒ වගේම තවත් ශාඛා දෙකක් ඉදිරියේදී විවෘත වීමට නියමිතයි.

චූටි දෝණිත් දැන් හරි දඟ ඇති නේද?
ලබන පෙබරවාරි වෙනකොට දුවට අවුරුදු හතරක් වෙන්න ළඟයි. දැන් එයා පෙර පාසල් යනවා. දෝණි හරිම දඟයි වගේම ගොඩක් බුද්ධිමත්. නිතරම ඉතින් එයාගේ කියවිල්ල අපි අහගෙන ඉන්න ඕන. දෙයක් කියන්න කලින් තේරුම් ගන්න එයාට පුළුවන්. හැම ගැහැනු ළමයෙක්ම වගේ එයත් මට වඩා තාත්තට ගොඩක් ආදරෙයි.

ගෙදර වැඩකටයුතුයි දෝණිගේ වැඩයි ඔබ අතින්මද සිදුවෙන්නේ?
සැලෝන් එකේ වැඩ නිසා 8.30 විතර වෙනකොට මම ගෙදරින් යන්න ඕන. මහත්තයාගේ කෑමබිම ටික මගේ අතින්ම හැදෙනවා. බබාගේ වැඩ නම් වැඩි හරියක්ම අපේ අම්මගේ අතිනුයි සිදුවන්නේ.

ඔබේ වැඩකටයුතුවලට සැමියාගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
කලාවට නම් මට හැමදාම සහයෝගය ලැබුණේ මගේ තාත්තගෙන්. මහත්තයා ඉංජිනේරු වෘත්තිය කරන්නේ. ඉතින් කලාව ගැන ඔහුගේ අවබෝධය හරි අඩුයි. නමුත් කිසිම බලපෑමක් නෑ. ලැබෙන සහයෝගයට වඩා බලපෑමකින් තොරව මට මගේ ගමන ඉදිරියටම යන්න ඔහු ශක්තියක් වෙනවා.

අනාගතේ දෝණිත් කලාවට එකතු වෙයි කියලා හිතෙනවාද?
ඔව්, එයත් කලාවට ලැදියි. දූට සින්දු කියන්න වගේම නටන්නත් පුළුවන්. නමුත් ඉතින් අනාගතේ ගැන දැන්ම තීරණ ගන්න පුළුවන්කමක් නෑ. මමත් ගොඩක් ක්ෂේත්‍රයන් නියෝජනය කළානේ. ඉතින් මගේ දූත් ඒ විදිහටම එයාගේ ගමන ඉදිරියට යයි.

ඔබගේ අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත්?
මේ වෙද්දි මම, මගේ උපාධි සියල්ල සම්පූර්ණ කරලයි තියෙන්නේ. දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් හැදෑරීම කරගෙන යනවා. කොළඹ විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධි සම්පූර්ණ කළා. එහෙම තමයි අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන්නේ.

මේ හැම දෙයක්ම එක්ක රූපය ගැනත් ඔබ හිතනවා ඇති නේද?
උදේ 8ට ගෙදරින් යන මම රෑ 8ට විතර ගෙදර එනකම්ම රූපය ගැන හිතන්න තරම් කාලයක් කොහෙත්ම නෑ. මම නිතරම නන්නෙත් කන්න හොඳ නෑ කියන කෑම ජාතිමයි. බාහිර ආ‍ලේපන කියලා ක්‍රීම් ගාගෙන ඉනන් තරම් වෙලාවනකුත් මට නෑ. ඇත්තටම කීවොත් රූපය ගැන කියලා කිසිම දෙයක් මම කරන්නේ නෑ.

විලාසිතා ගැනත් සැලකිල්ලක් දක්වන්නේ නැද්ද?
විලාසිතා කරන්න නම් මම ගොඩක් කැමතියි. නිතරම අලුත් අලුත් ෆැෂන් ගැන සෙවිල්ලෙන් ඉන්නේ. ඒ අතරින් මගේ විදිහට හරියන විලාසිතා මම තෝරාගන්නවා. විලාසිතාවක් කරන්න කලින් මම හැම දෙයක් ගැනම ගොඩක් සැලකිලිමත් වෙනවා. අනවශ්‍ය විලාසිතා නම් මම කරන්නේ නෑ. මං හිතන්නේ ගැහැනියක් ලස්සන අනවශ්‍ය විදිහට නිරාවරණය නොවන තරමටයි.

කලාව පැත්තෙන් තියෙන බලා‍පොරොත්තු මොනවාද?
කලාව පැත්තෙන් මට සම්මානයක් ගන්න තැනට එන්න ඕන. හොඳම ගායිකාව වීමේ සිහිනය මට තියෙනවා. ඒ අනුව ජනාධිපති හෝ සරසවි සම්මානයක් ලබාගැනීම තමයි කලාව පැත්තෙන් මගේ එකම බලා‍පොරොත්තුව.

පෞද්ගලික ජීවිතේ බලා‍පොරොත්තු මොනවාද?
පෞද්ගලික ජීවිතේ තියෙන එකම බලා‍පොරොත්තුව කාටවත් ප්‍රශ්නයක් නොවී අපේ ජීවිතත් ප්‍රශ්නයක් නොකරගෙන සතුටින් ජීවිතේ ඉදිරියට අරන් යන එකයි.

නඳුනි ආරියවංශ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();